You are here:: Home
 
 

‘අප ගන්නා සමහර තීරණ වර්තමානයේ ජනප්‍රිය නොවන්නට පුළුවන්. ඒත් අප ගත් තීරණ නිවැරදි බව අනාගත පරපුර කියාවි: රට හදන්න බැරිනම් බලය අතහැර යන්න සූදානම්‘- අගමැති රනිල් වික්‍රමසිංහ

AddThis Social Bookmark Button

Ranil-Front--viewඅද දිනයේද අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කෙළේය....තම දේශපාලන ජීවිතයේදී බලයේ ඉඳළත් තියෙනවා. බලය නැතුව විපක්‍ෂයේ ඉඳළත් තියෙනවා. බලය පාවිච්චි කරන්නේ රට හදන්නයි. පුද්ගලික න්‍යාය පත්‍ර ඉටු කර ගන්න නෙවෙයි. බලය පාවිච්චි කර රට හදන්න බැරිනම්, බලය අතහැරදා යන්න සූදානම්. රට බිල්ලට දී, රටේ අනාගතය අනතුරේ හෙලමින්, බලය ආරක්‍ෂා කර ගැනීමේ අරමුණක් තමාට නැතැයි ද ඔහු පැවසීය. ‘අලුත් අලුත් දෑ නොසිතන ජාතිය ලොව නොනගී‘ යයි ඔහු කුමාරතුංග මුනිදාසයන්ගේ ප්‍රකාශය වෙනස් කරමින් කතා කළේය. ඔහු කළ ඓතිහාසික ප්‍රකාශය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

 

ගරු කතානායකතුමෙනි,

 

ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සමන් රත්නප්‍රිය මහතා ඇතුළු නියෝජිතයන් අපෙන් කළ ඉල්ලීමක් මත පසුගිය සෙනසුරාදා සන්ධ්‍යාවේ අප දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූවා. රජය නියෝජනය කරමින් මමත්, මුදල්, රාජ්‍ය පරිපාලන, අධ්‍යාපන ඇමතිතුමන්ලාත්, විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිතුමාත්, ඊට සහභාගී වුණා. වෘත්තීය සමිති නියෝජිතයන් සමග කරුණු ගණනාවක් පිළිබඳව අප අවධානය යොමු කළා.

 

ඒ සාකච්ඡාවෙන් පසු, මම මේ කරුණු පිළිබඳව ජනාධිපතිතුමාටද දැන්වූවා. ඊයේ සමන් රත්නප්‍රිය මහතා සහ ගැමුණු විජේරත්න මහතා සමග අප තවත් සාකච්ඡාවක් පැවැත්වූවා.

 

ඒ සාකච්ඡාවලදී ඔවුන් ඉල්ලා සිටියේ ඉදිරිපත් කළ කරුණු පිළිබඳව රජයේ ස්ථාවරය පැහැදිලි කරන ප්‍රකාශයක් අද සිදු කරන ලෙසයි. අප ඊට එකඟ වුණා. ඒ වගේම ඔවුන් සඳහන් කළ කරුණු සම්බන්ධව සවිස්තරාත්මකව විමසා බැලූවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද මේ ගැන දැන්වූවා. අපේ පක්‍ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති සමගද සාකච්ඡා කළා. ජාතික සේවක සංගමය හා රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතයන් සමග අදහස් හුවමාරු කර ගත්තා. ඒ වගේම ජෝන් සෙනෙවිරත්න ඇමතිතුමාගේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වෘත්තීය සමිති සමගත් අප සාකච්ඡා කළා.

 

ගරු කතානායකතුමෙනි,

 

අප ජනවාරි 08 වන දා විප්ලවය මගින් අලූත් ගමනකට මුල පිරුවා. අපේ රට පත්ව තිබූ අගාධයෙන් ඉහළට ඔසවා සීලාචාර, සංවර්ධිත යහපත් දේශයක් බවට පත් කරලීම ඒ ගමනේ අරමුණයි. මෙය ලෙහෙසි පහසු ගමනක් නෙවෙයි. අසීරු ගමනක්. දුෂ්කර ගමනක්. මෙහිදී අපට මුහුණ දෙන්නට තියෙන්නේ දැවැන්ත අභියෝගයන්ට.

 

ඒ ගමනේදී අපට අප ගැන සිතනවාට වඩා රට ගැන සිතන්න වෙනවා. රට වෙනුවෙන් යම් යම් කැපවීම් කරන්නට සිදු වෙනවා. අප එසේ කළ යුත්තේ රට යහපත් තත්වයකට ඔසවා තබන්නටයි. රටේ අනාගතය සුරක්‍ෂිත කරන්නටයි. රටේ අනාගත පරපුරේ ආරක්‍ෂාව සලසන්නටයි.

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව අමතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේත්, මා ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්ති සැලසුමේත්, මුදල් ඇමතිතුමා ඉදිරිපත් කළ අයවැය කතාවේත් අරමුණ වූයේ එයයි.

 

අප බලයට පත් වූයේ රටේ ජනතාව වෙනුවෙන් සේවය කරන්නටයි. රටේ ජනතාව අප වෙතින් බලාපොරොත්තු වන්නේ රටේ අනාගතය වෙනුවෙන් යහපතක් සිදු කිරීමයි. රට වෙනුවෙන් තීරණ ගැනීමේදී අප පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් සිතන්නේ රට ගැනයි. රටේ අනාගතය ගැනයි.

 

එක්සත් ජාතික පක්‍ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටවූයේත් රටේ අනාගතය වෙනුවෙන් සාධනීය පියවර ගන්නයි. රටේ මූලික ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්නයි. රට හදන්නයි. ජනාධිපතිතුමා සියළු කැපවීම් කරන්නේ ඒ නිසයි.

 

මගේ දේශපාලන ජීවිතය ගත්තොත් බලයේ ඉඳළත් තියෙනවා. බලය නැතුව විපක්‍ෂයේ ඉඳළත් තියෙනවා. මම බලය පාවිච්චි කරන්නේ රට හදන්නයි. පුද්ගලික න්‍යාය පත්‍ර ඉටු කර ගන්න නෙවෙයි. බලය පාවිච්චි කර රට හදන්න බැරිනම්, බලය අතහැරදා යන්නට මම සූදානම්. රට බිල්ලට දී, රටේ අනාගතය අනතුරේ හෙලමින්, බලය ආරක්‍ෂා කර ගැනීමේ අරමුණක් මට නැහැ.

 

ඒ නිසා බලය ආරක්‍ෂා කර ගැනීම ගැන සිතමින් ජනප්‍රිය තීරණ පමණක් ගැනීමට අප ක්‍රියා කරන්නේ නෑ. රටේ අනාගතය වෙනුවෙන් ගත යුතු ජනප්‍රිය නොවන තීරණද ගැනීමට අප පසුබට වෙන්නේ නෑ.

 

අප ගන්නා සමහර තීරණ වර්තමානයේ ජනප්‍රිය නොවන්නට පුළුවන්. විවේචනයට භාජනය වෙන්නට පුළුවන්. නමුත් අනාගතයේ කිසියම් දිනෙක අප ගත් තීරණය නිවැරදි බව අනාගත පරපුර කියාවි.

 

ගරු කතානායකතුමෙනි,

 

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල පිළිබඳවත් අප සාකච්ඡා කළා. මා මේ ගරු සභාවට මීට කලින්ද දැනුම් දුන් පරිදි ඒ අරමුදල් දෙක මහ බැංකුව යටතේ වෙන් වෙන්ව පවත්වා ගැනීමට අප ක්‍රියා කරනවා. රාජපක්‍ෂ රෙජීමය මේ අරමුදල් අවභාවිත කළා. දේශපාලනික හා පුද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් යොදා ගත්තා. අප මේ තත්වය වෙනස් කරනවා. මේ අරමුදල් සියයට සියයක්ම සුරක්‍ෂිත කරනවා. සේවක සේවිකාවන්ගේ මුදල් කොල්ල කෑමට හෝ පිල්ලි ගැසීමට මින් මතු කිසිවෙකුටත් ඉඩ නොලැබෙන අයුරින් නව කළමනාකරණ ක්‍රමවේදයක් සැකසීම අපගේ බලාපොරොත්තුවයි. මේ ක්‍රමවේදය ගැන අප වෘත්තීය සමිති සමග සාකච්ඡා කරමින් සිටින්නේ. අවසන් තීරණයකට එන්නේ ඔවුන්ගේ එකඟත්වය ඇතිවයි.

 

මේ අරමුදල් වල මුදල් එක්රැස්වී තිබෙනවා. (Funded Liability). විශ්‍රාම යන අවස්ථාවේ දී ඔවුන්ට හිමි මුදල් එතැන තිබෙනවා. විශ්‍රාම වැටුප් සඳහා එවැනි එක්රැස්වූ අරමුදලක් නැහැ. (Unfunded). අද තිබෙන විශ්‍රාම ක්‍රමය අනුව විශ්‍රාම යන විට ඔවුන්ට ගෙවන්නේ කෙසේද, තිබෙන මුදල් කුමක්ද කියා කියන්නට බැහැ. ඒ නිසා වසරෙන් වසර අයවැය මගින් විශ්‍රාම වැටුප් සඳහා මුදල් වෙන් කළ යුතු වෙනවා. රජයේ සේවකයින් බඳවා ගත යුත්තේ ඔවුන් විශ්‍රාම යන අවස්ථාවේ විශ්‍රාම වැටුප් සඳහා මුදල් වෙන්කිරීමේ හැකියාව තක්සේරු කිරීමෙන් පසුවයි. නමුත් 2005 වසරේ සිට එවැනි කිසිදු සැලසුමකින් තොරව රජයේ සේවකයින් බඳවා ගෙන තියෙනවා. ඒ අයට විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දැන් නැහැ. එය බරපතල තත්වයක්. අනතුරුදායක තත්වයක්.

 

ඒ විතරක් නෙවෙයි. 1963 වසර වෙද්දී අපේ රටේ වැඩිහිටි ජනගහණය 5.4% යි. 2031 වෙද්දී එය 17.8% දක්වා ඉහළ නැංවෙනවා. 2050 වෙද්දී එය 27.7% යි. ඒ සමගම ආයු කාලය ද ඉහළ නැංවී තියෙනවා. 1961 වසරේදී අවුරුදු 61.5 ක් වූ ආයු කාලය 2011 වෙද්දී අවුරුදු 75.3 යි. 2050 වෙද්දී එය අවුරුදු 81 දක්වා ඉහළ නැංවෙනවා.

 

වැඩිහිටි ජනගහණය සහ ආයු කාලය වැඩිවීම නිසා විශ්‍රාම වැටුප් ගෙවීම තව තවත් බරපතල වෙනවා. හැටේ දශකයේ විශ්‍රාමිකයෙකුට වැටුප් ගෙවීය යුතුව තිබූ සාමාන්‍ය කාලය අවුරුදු 05 ක් පමණයි. ඇත්ත වශයෙන්ම මුදල් වෙන් කර තිබුණේ අවුරුදු 5 කට පමණයි. දැන් එය අවුරුදු 15 ක් පමණ වී තියෙනවා. 2031 වෙද්දී එය අවුරුදු 18 දක්වා ඉහළ නැංවෙනවා. 2050 වෙද්දී අවුරුදු 20 දක්වා වැඩි වෙනවා. දැන් තියෙන වගකීම එයයි.

 

මේ නිසා විශ්‍රාම වැටුප් සඳහා අයවැයෙන් වෙන් කළ යුතු මුදල වසරෙන් වසර ඉහළ නැංවෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. 1961 වසරේ මිලියන 83ක් වූ විශ්‍රාම වැටුප් බිල 2011 වෙද්දී මිලියන 99,961 යි. 2050 වෙද්දී එය ට්‍රිලියන 4 ක් නැත්නම් බිලියන 4000 ක් දක්වා ඉහළ නැංවෙනවා.

 

විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් මෙවැනි අර්බුදකාරී තත්වයක් ඇති වන බව හැටේ දශකයේ සිට මේ දක්වාම දූරදර්ශී පාලකයන්ට අවබෝධ වුණා. ආචාර්ය එන් එම් පෙරේරා මහතාගේ සිට මේ දක්වා අවස්ථා කීපයකදීම මේ බව පෙන්වා දී තියෙනවා. නමුත් බලය රැක ගැනීමේ දේශපාලන අරමුණ නිසා ඒ කිසිවක් ක්‍රියාවට නැංවීමට හැකි වුණේ නෑ. ඒකට අපේ පක්‍ෂ දෙකම වගකිව යුතුයි.

 

ඇත්තෙන්ම මෙවැනි බරපතල තත්වයකට මුහුණ දෙන්නට අපට ශක්තිය තියෙනවාද? අපට ශක්තිය නැත්නම් සිදු වෙන්නේ කුමක්ද? අනාගතයේ විශ්‍රාම ගන්නා රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට නොහැකි වීමයි. අප රජයේ රැකියා ලබා දෙන තරුණ තරුණියන් අතරමං කරන්නට අපට බැහැ. රජයේ සේවකයන් එවැනි අනාරක්‍ෂිත තත්වයකට පත් කරන්නට අපට දායක වන්නට බැහැ. අප කටයුතු කරන්නේ රජයේ සේවකයන් ආරක්ෂා කරන්නටයි. ඔවුන්ගේ විශ්‍රාම දිවිය සුරක්‍ෂිත කරන්නටයි.

 

රාජපක්‍ෂ රෙජීමය විද්‍යාත්මක පදනමකින් මේ ගැන සොයා බැලූවේ නැහැ. ඔවුන් රාජ්‍ය සේවකයින් බඳවා ගත්තේ දේශපාලන ජනප්‍රියත්වය ලබා ගැනීමේ අවශ්‍යතාව මතයි. නමුත් සැබෑ තත්වය නම් මේ පසුබිම මත 2005 වසරෙන් පසු බඳවා ගත් කිසිම රාජ්‍ය සේවකයෙක් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොමැති බවයි. අපට ඒ කාලය වන විට මුදල් තිබේද යන්න විශාල ප්‍රශ්නයක්. මේ ගැටළුව ඇතිවෙන්නේ තව අවුරුදු තිහකින් පමණ නිසා ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙන්නේ ඒ කාලයේ බලයේ ඉන්න ආණ්ඩුවට නිසා අපට මොකද කියලා පසුගිය ආණ්ඩුව හිතන්න ඇති.

 

නමුත් ඔවුන් මේ සෙල්ලම් කළේ රාජ්‍ය සේවකයන්ගේ අනාගත සුරක්‍ෂාව සමගයි. රජයේ සේවකයන්ගේ විශ්‍රාම ජීවිතය සමගයි. අවාසනාවකට කිසිම වෘත්තීය සංවිධානයක් මේ ගැන දැනුවත් වී සිටියේ නෑ. අපිටද මේ තොරතුරු අනාවරණය වුණේ බලයට පත් වීමෙන් පසු ඒ ගැන සොයා බලන අවස්ථාවේදීයි. මෙය ඉතා භයානක තත්වයක්.

 

අපේ යහපාලන ආණ්ඩුව කිසි විටෙක ඒ ආකාරයෙන් රාජ්‍ය සේවකයන්ගේ අනාගතය පරදුවට තබා දේශපාලන වාසි ලබා ගන්නේ නෑ. රටේ ජනතාවගේ අනාගතය උකසට තබා ජනප්‍රිය දේශපාලනයේ යෙදෙන්නේ නෑ. අප කටයුතු කරන්නේ තව දශක ගණනාවක් ඉදිරියටත් රටේ ජනතාවගේ අනාගත සුරක්‍ෂිතතාවය තහවුරු කෙරෙන ආකාරයටයි.

 

ගරු කතානායකතුමෙනි,

 

රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධව මේ දිනවල විවිධ අය විවිධ ප්‍රචාර ගෙනයනවා. විශ්‍රාම වැටුප් අහෝසි කිරීමක් ගැන කතා කරනවා. නමුත් රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමක් කිසිසේත්ම සිදු නොවන බව මම මේ ගරු සභාවට ප්‍රකාශ කරන්නට කැමතියි. අප මේ වෙහෙසෙන්නේ රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප සුරක්‍ෂිතව ලබා දීමට මිස එය අහෝසි කිරීමට නෙවෙයි.

 

මේ නිසයි අරමුදල් සහිත විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් පිළිබඳව අප මේ අයවැය ලේඛනයෙන් යෝජනා කළේ. අප වෙහෙසෙන්නේ අරමුදල් රහිත ක්‍රමයක් වෙනුවට අරමුදල් සහිත ක්‍රමයක් හඳුන්වා දෙන්නටයි. Unfunded ක්‍රමයක් වෙනුවට Funded ක්‍රමයක්. අපේ සංශෝධනය තිබෙන්නේ එතැනයි. මෙවැනි ක්‍රමවේදයක් මගින් රජයේ සේවයට බැඳුණු දිනයේ පටන්ම ඒ ඒ සේවකයා වෙනුවෙන් අරමුදලක් ගොඩ නැංවෙනවා. අප බලාපොරොත්තුවෙන් සිටියේ මේ නව ක්‍රමවේදය පිළිබඳව ලබන ජනවාරියේ වෘත්තීය සමිති සමග ගැඹුරෙන් සාකච්ඡා කරන්නයි.

 

මෙහිදී විශේෂයෙන් අවධාරණය කළ යුතු කරුණක් තියෙනවා. දැනට පවත්නා විශ්‍රාම වැටුප් ක්‍රමය කිසිසේත්ම වෙනස් වන්නේ නෑ. වත්මන් රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. වෙනසක් සිදු කෙරෙන්නේ අලූතින් බඳවා ගන්නා සේවක සේවිකාවන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදයේයි. එයත් ක්‍රමවේදයේ වෙනසක් පමණයි. විශ්‍රාම වැටුප් අහෝසි කිරීමක් නෙවෙයි.

 

නව ක්‍රමවේදය සැකසීම සඳහා අප වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන්ද සමන්විත ඉහළ පෙළේ කමිටුවක් පත් කරනවා. එතනදී දැනට ක්‍රියාත්මක විශ්‍රාම වැටුප් ක්‍රමය වගේම වෙනත් රටවල ක්‍රියාත්මක විශ්‍රාම වැටුප් ක්‍රම ගැන ඒ කමිටුවට අවධානය යොමු කරන්න පුළුවන්.

 

පසුගිය සෙනසුරාදා සාකච්ඡාවේදී සමන් රත්නප්‍රිය මහතා නව ක්‍රමවේදයක් යෝජනා කළා. තවත් යෝජනා කීපයක්ම දැනට ඉදිරිපත් වී තියෙනවා. ඒ යෝජනා සියල්ල මේ කමිටුවට ගැඹුරින් සලකා බැලිය හැකියි.

 

මෙවැනි ආරක්‍ෂිත ක්‍රමවේදයන් ලෝකයේ නොයෙක් රටවල ක්‍රියාත්මක වෙනවා. සමහර රටවල තමන්ගේ විශ්‍රම වැටුප ලබා ගන්නා ආකාරය පිළිබඳ තීරණය කිරීමේ හිමිකම සේවක සේවිකාවන්ට හිමිවෙනවා. සමහරු එකවර මුදල් ලබා ගන්නවා. තවත් සමහරු මාසික වැටුපක් ලෙස ලබා ගන්නවා.

 

ඒ වගේම ලෝකයේ බොහෝ රටවල දැනට පවත්නා අරමුදල් රහිත සමාජ ආරක්‍ෂණ ක්‍රමවේදයන් කඩා වැටෙමින් තියෙන බවත් අප අමතක කළ යුතු නැහැ. ඊට හොඳම උදාහරණය සපයන්නේ අමෙරිකා එක්සත් ජනපදයයි. ඔවුන්ගේ සාමාජ ආරක්‍ෂණ සහ ආබාධිත භාරකාර අරමුදල දැවැන්ත අර්බුදයකට මුහුණ දී තිබෙනවා. 2034 වෙද්දී මේ අරමුදල අකර්මණ්‍ය වෙන බව එහි භාරකරුවන් දැන් ප්‍රකාශ කර තියෙනවා. අද තිබෙන දේශපාලන ප්‍රශ්නය ඔවුන්ට එම මුදල ගෙවන්නේ කෙසේද යන්නයි.

 

මේ සියළු කරුණු සලකා බලා සේවක සේවිකාවන්ගේ විශ්‍රාම ජීවිතය වඩාත් සුරක්‍ෂිත කෙරෙන හා ඔවුන්ට වැඩි ප්‍රතිලාභයක් ලැබෙන අයුරින් පමණක් නොව, නවීන ලෝකයට සරිලන අයුරින්ද මේ ක්‍රමවේදය සකස් කිරීම කමිටුවට පැවරෙන වගකීමක්.

 

කමිටුව විසින් නව ක්‍රමවේදයක් සකස් කළ පසු, ඒ පිළිබඳව සියළු වෘත්තීය සමිති හා සේවක නියෝජිත කණ්ඩායම් සමග සාකච්ඡා කර, ඔවුන්ගේද එකඟත්වය ඇතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට අප කටයුතු කරනවා. ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුවේ එකඟත්වය ලැබීමෙන් පසුවයි.

 

ඒ නිසා මේ නව ක්‍රමවේදය පිළිබඳව කවුරුන්වත් අනියත බියක් ඇති කර ගත යුතු නැහැ. අපට අවශ්‍ය රජයේ සේවක සේවිකාවන් ආරක්‍ෂා කරන්න මිස ඔවුන්ව දුර්වල කරන්න නෙවෙයි. ඔවුන්ව ශක්තිමත් කරන්න මිස අනාථ කරන්න නෙවෙයි. ඒ නිසා යථාර්ථය අවබෝධ කරගෙන, ඊට මුහුණ දිය හැකි පරිදි මේ නව ක්‍රමවේදය සකස් කළ යුතුයි. එය සකස් කිරීමේ ක්‍රියාවලිය වෘත්තීය සමිති නියෝජිතයන්ද හවුල් කරගෙන විවෘත හා විනිවිද පෙනන අයුරින් අප සිදු කරන්නේ ඒ නිසයි.

 

මේ නව ක්‍රමවේදය ගැන එකඟත්වයකට එළැඹෙන අතරතුරදී අප වත්මන් රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධවද සැලසුම් සකස් කළ යුතු වෙනවා. විශේෂයෙන්ම 2005 වසරෙන් පසු බඳවා ගත් රජයේ සේවක සේවිකාවන් පිළිබඳව. ඔවුන්ගේ විශ්‍රාම වැටුප් සුරක්‍ෂිත කිරීම අපේ වගකීමක්. අප ඒ වගකීමත් ඉෂ්ට කරන බව මම සඳහන් කරන්නට කැමතියි. ඒ සඳහා අවශ්‍ය සංශෝධන හා චක්‍රලේඛ වෙනස් කිරීම් ගැනත් අප අවධානය යොමු කළ යුතුයි.

 

සංවර්ධන වේගය 8% ක් 9% ක් තත්වයට ඉහළ නැංවීමට අප රටක් වශයෙන් වෙහෙසිය යුතුයි. ඒ මගින් 2031 වෙද්දී ඉහළ ආදායම් ලබන රාජ්‍යයක තත්වයට පත් වීමට අප සැරසිය යුතුයි. පුරවැසියන් වශයෙන් අප සියළු දෙනාම ඒ ඉලක්ක සපුරා ගැනීමට ඇප කැපවී කටයුතු කළ යුතුයි. 2005 වසරෙන් පසු බඳවා ගත් රාජ්‍ය සේවක සේවිකාවන්ගේ විශ්‍රාම දිවිය සුරක්‍ෂිත කරලිය හැක්කේ ඒ මාර්ගයෙනුයි.

 

එසේ නොමැතිව රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් කප්පාදු නොකරනු කියමින් සටන් පාඨ කිව්වාට ඔවුන්ගේ විශ්‍රාම වැටුප සුරක්‍ෂිත වෙන්නේ නෑ. ඒ නිසා මේ අවස්ථාවේ සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන, දූරදර්ශීව රට වෙනුවෙන් තම යුතුකම ඉටු කරන ලෙස මම සියළු පාර්ශව වලින් ඉල්ලා සිටිනවා.

 

දැනට රාජ්‍ය සේවකයන්ට ලබා දෙන දීමනා මූලික වැටුපට එකතු කිරීම සහ විෂමතා ඉවත් කළ විධිමත් වැටුප් ව්‍යුහයක් කඩිනමින් ස්ථාපිත කිරීම පිළිබඳව අප සාකච්ඡා කළා. අප බලයට පැමිණි විගස රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කළ බව ඔබ දන්නවා. විශ්‍රාම ගන්නා අවස්ථාවේ විශ්‍රාම වැටුප් සකස් කරන්නේ මේ දීමනාව සහිතවයි. ඒ නිසා විශ්‍රාමිකයන්ට අඩු පාඩුවක් වෙන්නේ නෑ. බැංකු ණය ලබා ගැනීමේදී මේ දීමනාද සැලකිල්ලට ගත යුතු බව අප බැංකු වෙත දන්වා තිබෙනවා. ඊට අවශ්‍ය චක්‍රලේඛයන්ද නිකුත් කරනවා.

 

දැන් අපට ඉතිරිව ඇත්තේ මේ දීමනා මූලික වැටුපට එක් කිරීමට පමණයි. අපටත් අවශ්‍යව ඇත්තේ ඉතා ඉක්මණින් මෙය ඉටු කරලීමටයි. ඒ නිසා ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සොයා ගැනීමට අප ක්‍රියා කරමින් සිටිනවා. ආරම්භක අදියර හැටියට ලබන වසරේ ආරම්භයේදීම රුපියල් 2000 ක් මූලික වැටුපට එක් කිරීමට අප ක්‍රියා කරනවා. අදියරෙන් අදියර මේ කටයුත්ත සිදු කිරීමට හැකි වෙතැයි අප බලාපොරොත්තු වෙනවා. අප උත්සාහ කරන්නේ අදියර තුනකින් මේ කටයුත්ත සිදු කරන්නටයි. අද උදෑසන වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් හමුවූ අවස්ථාවේ දී ඔවුන් ඉල්ලා සිටියේ මූලික වැටුපට රුපියල් 2500 ක් එක් කරන ලෙසයි. මේ පිළිබඳව භාණ්ඩාගාරය සහ මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන බව මා ඔවුන්ට පැවසුවා.

 

මෙතනදී අප රජයේ සේවක වැටුප් පිළිබඳවත්, වැටුප් විෂමතා පිළිබඳවත් ගැඹුරින් විමසා බැලිය යුතු බව අපේ හැඟීමයි. මේ නිසා ජාතික වැටුප් කොමිසම යළි ස්ථාපිත කිරීමට අප ක්‍රියා කරනවා. සියළු කණ්ඩායම් සමග සාකච්ඡා කර රාජ්‍ය සේවයේ වැටුප් පිළිබඳ පරිපූර්ණ වාර්තාවක් සකස් කිරීමේ වගකීම ජාතික වැටුප් කොමිසමට අප ලබා දෙනවා. වාර්තාව සැකසීම සඳහා මාස 6 ක කාලයක් ඔවුන්ට ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා.

 

අග්‍රහාර රක්‍ෂණය ගැනත් වෘත්තීය සමිති අදහස් ප්‍රකාශ කළා. පසුගිය සමයේ අග්‍රහාර රක්‍ෂණයේ මුදල් අවභාවිත කර ඇති ආකාරය පිළිබඳව අප සොයා බලනවා. ඒ ගැන සියළු තොරතුරු ජනතාවට හෙළි කරනවා. අපේ පංචවිධ ප්‍රතිපත්ති ප්‍රකාශයේත් අප මේ රක්‍ෂණය ගැන සඳහන් කර තියෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි අප අග්‍රාහාර රක්‍ෂණයට අදාළ ප්‍රතිලාභ ප්‍රමාණය වැඩි කිරීමටත්, විශ්‍රාමිකයන්ට අග්‍රාහාර ප්‍රතිලාභ හිමිකම් ලබාදීමටත් පියවර ගන්නවා. ආරම්භක පියවර ලෙස, 2016 ජනවාරියේ සිට විශ්‍රාම ගන්නා සියළු අයට අග්‍රහාර රක්‍ෂණ ප්‍රතිලාභ හිමිකම අප ලබා දෙනවා. ඇත්ත වශයෙන්ම මේ කාරක සභා අවස්ථාව තිබෙන්නේ මෙවැනි ප්‍රශ්න මතු කර, එමෙන්ම මුදල් අමාත්‍යවරයාගේ ද ප්‍රකාශ ලබා ගෙන දෙසැම්බර් 19 වැනි දා ඡන්දය ලබා දෙනවා ද, නැද්ද ඇසීමටයි. මෙම අවස්ථාවේ දී ගොස් වර්ජනය කිරීමට අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. කාරක සභා අවස්ථාව තිබෙන්නේ මෙවැනි ගැටලූ සාකච්ඡා කර සංශෝධනය කිරීමටයි. මෙයින් අප ප්‍රයෝජන ගත යුතුයි. සුභවාදී අදහස් හැම පැත්තෙන්ම ඇවිත් තිබෙනවා.

 

අපේ සාකච්ඡාවේදී මෑන්පවර් සේවකයන් ස්ථිර කිරීම සමබන්ධයෙන්ද අවධානය යොමු වුණා. මෑන්පවර් ක්‍රමයත් පසුගිය ආණ්ඩුවේ මගඩියක්. ඒ හරහා විශාල වශයෙන් අක්‍රමිකතා විතරක් නෙවෙයි. සේවක සේවිකාවන්ටද අසාධාරණ සිදු වුණා. දැනට මෑන්පවර් සේවකයන් ස්ථිර නොකර ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පමණයි. විදුලි සංදේශ ඇමතිතුමාත්, ටෙලිකොම් සභාපතිතුමාත් දැනටම මේ සම්බන්ධව සොයා බලමින් සිටින්නේ. හැකි ඉක්මණින් මේ ගැටළුවද විසඳාලන්නට අප බලාපොරොත්තු වෙනවා.

 

දුම් පරීක්‍ෂණ ගාස්තුව, කල්බදු සඳහා වූ තක්සේරු ගාස්තු සහ ආදායම් බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් දැක්වුණා. එක්වරම මේ ආකාරයෙන් ගාස්තුව වැඩි කිරීම වාහන හිමියන් අපහසුවට පත් කෙරෙන තීරණයක් බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය, අන්තර් කලාප බස් සංගමය ඇතුළු වෘත්තීය සමිති පෙන්වා දුන්නා. අප මේ පිළිබඳව යළි සලකා බැලීමට සූදානම්. ඒ කාරණය පිළිබඳව යම් කිසි සංශෝධනයක් අවශ්‍ය නම්, ඒ පිළිබඳ සලකා බැලීමට මුදල් අමාත්‍යවරයා සූදානම්. අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කොට අවසන් තීරණයකට එළැඹෙන තුරු අන්තර්කාලීන පියවර කීපයක් ගැනීමට අප තීරණය කර තියෙනවා. ඒ අනුව ආදායම් බලපත්‍ර ගාස්තුව වැඩි කිරීම 25% සිට 15 % දක්වා පහත හෙළනවා. දුම් පරීක්‍ෂණ සඳහා රුපියල් 1500 ක අන්තර්කාලීන ගාස්තුවක් නියම කරනවා. කල්බදු සඳහා වාහනයකට අය කරන තක්සේරු ගාස්තුව රුපියල් 5000 ක් දක්වාත්, ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල් සඳහා තක්සේරු ගාස්තුව රුපියල් 3000 දක්වාත් පහළ දමනවා. මෙම කරුණු ඇමැතිවරු සියලූ දෙනා එක් වී සාකච්ඡා කර ගත් තීරණ.

 

මේ සාකච්ඡාවට සහභාගී වූ බැංකු සේවක සංගම් පැවසූවේ බැංකු වලට උකස් ගැනීමේ සීමාවන් පැනවීම හා ලීසින් කටයුතු බැංකු වලින් ඉවත් කිරීම සුදුසු නොවන බවයි. මම මේ පිළිබඳව පසුගිය සතියේ රාජ්‍ය බැංකු ප්‍රධානීන් හා බැංකු ක්ෂේත්‍රයේ එක්සත් ජාතික පක්‍ෂයේ වෘත්තීය සමිති සමගත් සාකච්ඡා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වෘත්තීය සමිති සමගත් සාකච්ඡා කළා.

 

අප බැංකු සේවක සංගම් වලින් ඉල්ලා සිටින්නේ තම තමන්ගේ බැංකු වල සභාපතිවරුන් සමග සාකච්ඡා කොට අපට පොදු යෝජනාවක් ඉදිරිපත් කරන ලෙසයි. එවිට අපට පොදු තීරණයක් ක්‍රියාත්මක කරන්නට අවස්ථාව හිමි වෙනවා.

 

මෙහිදී අවධාරණය කළ යුත්තේ බැංකුවල ආදායම් පහළ වැටෙන ආකාරයේ කිසිදු තීරණයක් අප ක්‍රියාත්මක නොකරන බවයි. බැංකු වලට හානිකර කිසිදු ක්‍රියාවක් අප සිදු කරන්නේ නෑ. අපට අවශ්‍ය මේ බැංකුවල තත්වය තව තව ඉහළ නැංවීමටයි. බැංකුවල ආදායම් වැඩි කිරීමටයි. ඒ සම්බන්ධ අතුරු වාර්තාවක් දැනටමත් ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් පෙරේරා මහතා අප වෙත ලබා දී ඇති බවත් මම සඳහන් කරන්නට කැමතියි. එක්සත් ජාතික පක්‍ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වෘත්තීය සමිති නියෝජිතයින් සමග සාකච්ඡා කර ඒ සියලූ දෙනාම එකඟ වු කරුණු තිබෙනවා. එම කරුණු දීර්ඝ වශයෙන් පැවසීමට අවශ්‍ය නැහැ. ඒ කරුණු ලිපියේ සඳහන් වී තිබෙනවා.

 

ඒ වගේම තමන්ගේ ගිණුමෙන් රුපියල් ලක්‍ෂ 10කට වඩා වැඩි මුදලක් ගැනීමේදී සියයට දෙකක බද්දක් අය කිරීම ප්‍රයෝගික නොවන බවද වෘත්තීය සමිති නියෝජිතයන් පැවසුවා. මේ කරුණ ගැන අප මහ බැංකුවෙන් වාර්තාවක් කැඳවා තියෙනවා. ඒ වාර්තාව අනුව සිදු කළ යුතු සංශෝධන කරන්නට අප සූදානම්. බැංකුවල මුදල් ඉතිරි කිරීම් දිරි ගන්වන පියවර මිස අධෛර්යය කරවන පියවර අප ගන්නේ නෑ.

 

රාජ්‍ය බැංකුවල තත්වය පිටින් පේන තරමට යහපත් නැහැ. රජයේ ගිණුම් වලින් යැපෙන්නට පුළුවන් බව දන්නා නිසා රාජ්‍ය බැංකු තරඟකාරී ලෙස ඉදිරියට යන්නට කල්පනා කරන්නේ නෑ. ඒ නිසා රාජ්‍ය බැංකුවල කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහළ නැංවීමට අප ක්‍රියා කළ යුතුයි. ඒ සඳහා රාජ්‍ය බැංකු සේවාවන්ට සම්බන්ධ වෘත්තීය සමිති සමග දිගින් දිගටම සාකච්ඡා කරන්නට අප බලාපොරොත්තු වෙනවා. ඊට අදාළ යහපත් යෝජනා ලබා දෙන ලෙසත් මම බැංකු සේවක සංගම් වලින් ඉල්ලා සිටින්නට කැමතියි.

 

පෞද්ගලික අංශයේ සේවකයන්ට බලපාන කරුණු කීපයක් ගැනත් අපේ සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. රු. 2500 වැටුප් වැඩිවීමක් ලබාදීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැලසීම සහ දින පහේ සේවයේදී ක්‍රියාකළ යුතු ආකාරය ගැනත් මෙහිදී අදහස් හුවමාරු වුණා. 2500 වැටුප් වැඩිවීම සියයට සියයක්ම සිදු වී නැති බව අප දන්නවා. ඒ අඩුපාඩුව සම්පූර්ණ කෙරෙන ආකාරයේ නීති රීති අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඇත්ත වශයෙන්ම කම්කරු අමාත්‍යවරයා එම කෙටුම්පත දැනටමත් ඉදිරිපත් කර තිබෙනවා. ජනවාරි මාසයේ දී එය සම්මත කර ගැනීම අපේ යුතුකමක්. ලබන මැයි මාසය වන විට පුද්ගලික අංශයේ සියළුම සේවක සේවිකාවන්ට මේ පඩි වැඩි වීම ලබා දෙනවා. දැන් වැවිලි කර්මාන්ත අංශයේත්, වැවිලි සමාගම් සමගත් වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව කම්කරු අමාත්‍යවරයා පැවසුවා.

 

දින පහේ සතිය ක්‍රියාත්මක කරලීම සේවක සේවිකාවන්ටත්, හාම්පුතුන්ටත් පහසුවක් බව අප දන්නවා. නමුත් සේවක සේවිකාවන්ගේ මූලික අයිතීන්ට මෙන්ම නිෂ්පාදන ඵලදායීතාවයට හානියක් නොවන අයුරින් මේ කාර්යය සිදු කිරීම අපේ බලාපොරොත්තුවයි. ඒ ගැන පුද්ගලික අංශයේ වෘත්තීය සමිති සහ හාම්පුතුන් සමග සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වෙනවා. පැය අටේ සේවා මුරය වෙනස් කිරීමට කිසිම යෝජනාවක් නැහැ. දැනටත් සමහර අංශ වෙනත් ක්‍රමයකට යොමු වී තිබෙනවා. ඒ හාම්පුතුන්ගේ සහ වෘත්තීය සමිතිවල එකඟත්වය අනුවයි. එම ක්‍රමය ඉදිරියට ගෙන යාමට බාධා කළ යුතු නැහැ.

 

පුද්ගලික අංශයේ අනියම් සේවක සේවිකාවන් ස්ථිර කිරීමේ කාලය දීර්ඝ කරලීම ගැනත් වෘත්තීය සමිති නියෝජිතයන් සිය සැලකිල්ල යොමු කළා. කලින් පැවතියේ දින 180 ක සීමාවක්. ඒ සීමාව දින 360 දක්වා දීර්ඝ නොකරන මෙන් වෘත්තීය සමිති ඉල්ලා සිටියා. සීමාව දීර්ඝ කරලීම පිළිබඳව කිසිදු නීතියක් තවම සම්මත කර ගෙන නැහැ. අප නීති සම්මත කරගන්නේ වෘත්තීය සමිති සමග සාකච්ඡා මාර්ගයෙන් එකඟත්වයකට පැමිණීමෙන් පසුවයි. ඒ නිසා මේ ගැන කලබල විය යුතු නැහැ.

 

ජෝන් සෙනෙවිරත්න සහ මලික් සමරවික්‍රම අමාත්‍යතුමන්ලා පුද්ගලික අංශයට බලපාන සියළු කරුණු පිළිබඳව වෘත්තීය සමිති සමග වැඩිදුර සාකච්ඡා කරන බවත් මම සඳහන් කරන්නට කැමතියි.

 

දැනට පුද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේද සේවක සේවිකාවන් සඳහා අවම වැටුපක් නියම කොට තියෙනවා. නමුත් අපේ අරමුණ ඒ තත්වය තවත් වැඩි දියුණු කොට අවම ජීවන වැටුපක් නියම කිරීමටයි. ඒ අනුව යහපත් ජීවන තත්වයක් පවත්වාගෙන යා හැකි වැටුපක් තීරණය කෙරෙනවා. රජයේ හා පුද්ගලික අංශවල සේව්‍ය හා සේවක අංශ සමග සාකච්ඡා කර ඉදිරි වසර පහ ඇතුළත අවම ජීවන වැටුපක් නියම කිරීමට අප කටයුතු කරනවා. මෙය සමස්ත වැඩකරන ජනතාවම ලබන සුවිශේෂී ජයග්‍රහණයක්.

 

ගරු කතානායකතුමෙනි,

 

අපේ ආණ්ඩුවට ඍජුවම සම්බන්ධ එක්සත් ජාතික පක්‍ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වෘත්තීය සමිති සමග අප නිරන්තර සාකච්ඡා පවත්වනවා. ජාතික වෘත්තීය සමිති පෙරමුණත් දැන් මේ සාකච්ඡාවන්ට එක්වී තිබෙනවා. අනෙකුත් වෘත්තීය සමිති සම්මේලන ද එක් වී කම්කරු අමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා සමග මේ කරුණු සම්බන්ධයෙන් මාස දෙකකට වරක්වත් සාකච්ඡා කිරීම සුදුසුයි.

 

අප ආණ්ඩු කරන්නේ ලිච්ඡවී සම්ප්‍රදාය අනුව බව මම අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළා. මේ අවස්ථාවෙනුත් පැහැදිලි වන්නේ එයයි. අප දිගින් දිගටම සාකච්ඡා පැවැත්වූවා. අප අදත් වෘත්තීය සමිති නියෝජිතයන් ගණනාවක් සමග මේ ගැන සාකච්ඡා කළා.

 

සමගියෙන් රැස්වී, සමගියෙන් සාකච්ඡා කොට, සමගියෙන් විසිර යෑම අපගේ පාලන පිළිවෙතයි. අප මේ අයවැයෙන් ආරම්භ කළේ අලූත් ගමනක්. එහෙනම් මේ නොනගතය අවසන් වන්නේ 2016 වසර අවසානයේදීයි. 2017 වසරේ අපි අලූත් ගමනක් යනවා. සෑම ප්‍රශ්නයක්ම සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් විසඳා ගැනීම අපගේ අපේක්‍ෂාවයි. අප එසේ කරන්නේ පුද්ගලික න්‍යාය පත්‍ර අපට නැති නිසයි. අපේ එකම න්‍යාය පත්‍රය රටටත් ජනතාවටත් යහපතක්ම සිදු කිරීමයි.

 

ගරු කතානායකතුමෙනි,

 

පසුගිය සාකච්ඡාවන්හිදී වෘත්තීය සමිති මතුකළ සියළු කරුණු වලට අප සාධනීය විසඳුම් ලබා දී තියෙනවා. තවත් කරුණු ගැන සාකච්ඡා කරන්නට එකඟ වී තියෙනවා. සමහර කරුණු ගැන තීරණ තීන්දු ගන්නා කමිටුවලට වෘත්තීය සමිති නියෝජිතයින් සහභාගී කරවා ගැනීමට එකඟ වී තියෙනවා. සාකච්ඡාවෙන් සම්මුතියෙන් ප්‍රශ්න විසඳාගැනීමට එක්වූ සියළු වෘත්තීය සමිති වලට මම මගේ ප්‍රසාදය පළ කරන්නට කැමතියි.

 

ජනතාව අපට බලය ලබා දුන්නේ රට වෙනුවෙන් සේවය කරන්නයි. අප ඒ සේවය සඳහා කැපවෙනවා. ජනතාව අප ගැන තැබූ බලාපොරොත්තු අප ඒ අයුරින්ම ඉටු කරනවා.

 

අප කල්පනා කරන්නේ කෙටි කාලීන දේශපාලන වාසි ලබා ගැනීමට නෙවෙයි. රට ආරක්ෂා කර ගැනීමටයි. රට මේ පත්වී තිබෙන සැබෑ තත්වය වටහා ගැනීමට අප අසමත් වුවහොත් අප කාටත් සිදු වන්නේ පසුතැවිලි වීමට පමණක් නොවෙයි. අප සියළු දෙනාටම සිදු වන්නේ විනාශ වීමටයි.

 

ඒ නිසා අපි ගතානුගතික විදිහටම කල්පනා නොකර, යම් කැපවීමකින් ඉදිරි වසර කිහිපය උදෙසා අවශ්‍ය ප්‍රතිපත්ති තීරණය කරමු. ඒ ඔස්සේ කටයුතු කරමු. ඒ බව අවධාරණය කරමින්, මම රජයේ හා පුද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගෙන් ඉල්ලා සිටින්නේ හැම විටම කල්පනාකාරීව කටයුතු කරන ලෙසයි. ජනවාරි 08 වන දා විප්ලවය ආපසු හැරවීමට ඉඩ නොදී රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන් තීරණ ගන්නා ලෙසයි.

 

ශ්‍රී ලාකේය අභිමානය ඉහළට ඔසවා තබමින්, සංවර්ධිත රටක් ලෙස දිදුලන්ට හැකි වෙන්නේ අලූත් අදහසින් පෝෂිතව, අලූත් මාවතක ගමන් කිරීමෙන් පමණයි. “අලූත් අලූත් දෑ නොතනන ජාතිය ලොව නොනගී” යනුයෙන් කුමාරතුංග මුනිදාස මහතා සඳහන් කළේ ඒ නිසයි. “අලූත් අලූත් දෑ නොසිතන ජාතිය ලොව නොනගී” කියා ඊට අලූත් අර්ථ කථනයක් ලබා දීම සුදුසු වන්නේත් ඒ නිසාමයි.

 

මෙම අයවැයෙන් ලබා දී තිබෙන සහන පිළිබඳව නැවතත් මතක් කරදීමට කැමතියි. විශ්‍රාමිකයන් සඳහා අප්‍රේල් මාසයේ රුපියල් 1000 ක් වැඩි කළා. සමෘද්ධි දීමනා වැඩි කළා. ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් අඩු කළා. කිරි පැකට්ටුවක මිල රුපියල් 60 කින් අඩු කළා. පාන් පිටි කිලෝවක් රුපියල් 12.50 කින් අඩු කළා. සීනි කිලෝවකින් රුපියල් 10 කින් අඩු කළා. මුං ඇට කිලෝවක් රුපියල් 40 කින් අඩු කළා. හාල්මැස්සන් කිලෝවක් රුපියල් 15 කින් අඩු කළා. සස්ටජන් කිරිපිටි රුපියල් 100 කින් අඩු කළා. ටින් මාලූ මිල රුපියල් 60 කින් අඩු කළා. උම්බලකඩ කිලෝවක් රුපියල් 200 කින් අඩු කළා. මිරිස් කිලෝවක් රුපියල් 25 කින් අඩු කළා. භඣමිතෙල් ලීටරයක මිල රුපියල් 6 කින් අඩු කළා.

 

මහපොළ ශිෂ්‍යත්ව දීමනාව රුපියල් 1000 කින් ඉහළ දැම්මා. රුපියල් ලක්‍ෂයක් දක්වා වූ ගොවි ණය 50% කින් කපා හැරියා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මුදල් තැන්පත් සඳහා 15% ක පොලියක් ලබා දුන්නා. ගැබිණි මව්වරුන් සඳහා රුපියල් 20,000 ක පෝෂණ මල්ලක් ලබා දුන්නා. විවාහ ලියාපදිංචි ගාස්තුව 5000 සිට 1000 දක්වා අඩු කළා. වී කිලෝව සඳහා රුපියල් 50.00 ක සහතික මිලක් ලබා දුන්නා. අර්ථාපල් සඳහා රුපියල් 80 ක සහතික මිලක් ලබා දුන්නා. තේ, රබර් සඳහා ද සහන ලබා දුන්නා. තේ දළු කිලෝවක් සඳහා රුපියල් 80 ක මුදලක් ද, රබර් කිලෝවක් සඳහා රුපියල් 350 ක් ලබා දුන්නා. රජයේ බැංකුවලට උකස් කළ රුපියල් ලක්‍ෂ දෙකකට අඩු වටිනාකමක් ඇති ස්වර්ණාභරණ වෙනුවෙන් පොලිය කපා හැරියා. උපයන විට ගෙවීමේ බද්දෙන් නිදහස් ආදායම රුපියල් 7,50,000 දක්වා වැඩි කළා. ජංගම දුරකථන රීලෝඩ් බද්ද අහෝසි කළා. එන්ජින් ධාරිතාව 1000 කට අඩු මෝටර් රථ සඳහා බද්ධ 15% දක්වා අඩු කළා. ජනාධිපති වැය ශීර්ෂය කෝටි 9100 සිට කෝටි 256 දක්වා කපා හැරියා. ආබාධිත රණවිරුවන් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 5 ක උපරිමයකට යටත්ව විරු දිනය නමින් විශේෂ බැංකු ණය ක්‍රමයක් ඇති කළා. ධීවර ප්‍රජාව වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 10 ක ජීවිත රක්‍ෂණ ක්‍රමයක් හඳුන්වා දුන්නා. ක්‍රෙඩිට් ණය පොලිය 8% ක් දක්වා අඩු කළා. ඉන්ධන මිල අඩු කළා. විශේෂයෙන්ම අප ලබා දුන් සහන පිළිබඳව සඳහන් කරනවා නම් තවත් පැය භාගයක කාලයක් අවශ්‍ය වනවා. එම නිසා මේ සියලූ කරුණු සලකා බලා අප සියලූ දෙනා එකට එක් වී ඉදිරියට යමු කියා මේ රටේ වැඩ කරන ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.