You are here:: News Bulletin එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ තරුණ නියෝජිතවරිය ලෙස ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක මෙනවිය පත් කෙරේ.
 
 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ තරුණ නියෝජිතවරිය ලෙස ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක මෙනවිය පත් කෙරේ.

AddThis Social Bookmark Button

19399505 1386663784755891 5585995437626997166 nඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ මිළඟ තරුණ නියෝජිතවරිය ලෙස ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක මෙනවිය පත් කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් කර්යාලය විසින් පසුගියදා(20) නිවේදනය කරන ලදී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරස් මහතා විසින් මෙම පත් කිරිම සිදු කර තිබේ. ඇය මෙම තනතුරට පත් කරන ලද්දේ මෙතෙක් එම තනතුර දැරු ජෝර්දානයේ අහමඩ් අල්හෙන්ඩවායි ට පසුවය.

වික්‍රමනායක මෙනවිය දැනට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරිනියක ලෙස කටයුතු කරන අතර ඇය මීට පෙර තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල තරුණ නියෝජිතවරිය ලෙසද (2012-2013) කටයුතු කර ඇත. නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ තෙවන ලේකම්වරිය ලෙසද කෙටි කාලයක් (2014) සේවය කර ඇති ඇය ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ (2013-2015) මහ ලේකම්වරියක හා සෙනට් සභිකයකු ලෙසද කටයුතු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන ස්තම්භයන් 4ක් වන තිරසාර සංවර්ධනය, මානව හිමිකම්, සාමය හා ආරක්ෂාව මෙන්ම මානව හිතවාදී ක්‍රියාකාරකම් පිලිබඳ තරුණ ප්‍රජාවගේ නියැලීම සහ ඒ වෙනුවෙන් පෙනී සිට කටයුතු කිරීම තවදුරටත් ප්‍රචලිත කිරීම වික්‍රමනායක මෙනවියට ලබා දී ඇති නව තනතුරෙන් බලාපොරොත්තුවන භූමිකාව වේ.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ, තරුණ ප්‍රජාව පිලිබඳ දැක්ම යථාර්තයක් බවට පත් කිරීම උදෙසා ප්‍රධාන කාර්යභාරයක් සිදු කිරීමට ඇයට සිදු වනු ඇත. 1990 උපත ලබා ඇති වික්‍රමනායක මෙනවිය කොළඔ විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධාරිනියක වන අතර දැනට එම විශ්ව විද්‍යාලයේම සංවර්ධන විෂයන් සඳහා වූ දර්ශනපති උපාධියකට සුදානම්වෙමින් සිටින්නීය.

මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ තරුණ නියෝජිතවරිය ලෙස ජයත්මා වික්‍රමනායක මෙනවිය පත් වීම ශ්‍රී ලංකාවට හිමි වු සුවිශේෂී අවස්ථාවක් බව              විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ අවධානය යොමු වී තිබෙන මොහොතක ජයත්මා වික්‍රමනායක මෙනවියට මෙම තනතුර හිමි වීම හරහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදු කිරීමට ඇයට අවස්ථාව උදාවනු ඇතැයි තමා විශ්වාස කරන බවද, අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩි දුරටත් පෙන්වාදෙයි.