You are here:: News Center Interviews ජනතාවගේ අතමිට සරු කරන ආර්ථික සංවර්ධනයක්‌ ගේන්න පුළුවන් එජාපයට විතරයි මුදල් අමාත්‍ය - රවී කරුණානායක
 
 

ජනතාවගේ අතමිට සරු කරන ආර්ථික සංවර්ධනයක්‌ ගේන්න පුළුවන් එජාපයට විතරයි මුදල් අමාත්‍ය - රවී කරුණානායක

AddThis Social Bookmark Button

11111Interviewසාමාන්‍යයෙන් දේශපාලන කරලියේද විවාදිත නිතර කතාබහ කරන චරිතයක්‌ වන අමාත්‍ය රවී කරුණානායක සමඟ දේශපාලනයේ බොහෝ සිදුවීම් පිළිබඳව කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය - මේ සාකච්ඡාව පළවන මොහොතේ සිට මහ ඡන්දයට ඉතිරිවන්නේ දින දෙකයි. 17 වැනිදාට මොකක්‌ සිද්ධවෙයිද?

පිළිතුර - නියත වශයෙන්ම එජාපය විශිෂ්ට ජයක්‌ අත්පත් කරගන්නවා. ඒ ගැන සැකයක්‌ නෑ. අපි පසුගිය කාලයේ ලෝකයේ දියුණු රටවල මැතිවරණ සිද්ධවෙන ක්‍රමවේදයේ හොඳ ගැන කතා කළා. මේ මොහොතේ අපේ රටේ සිද්ධවෙන්නෙත් ඒ වගේ දෙයක්‌. ඒ කාලයේ මැතිවරණ කොමසාරිවරයාගේ නියෝග කවුරුත් පිළිපැද්දේ නෑ. කවුරුත් මැතිවරණ කොමසාරිස්‌වරයාට බලපෑම් කරන්නේ නෑ.

අපි ජනවාරි අටවැනිදා පෙරළියක්‌ කළා. අපි ජනතාවට අපේ පොරොන්දු ඉටු කළා. ජනතාව අපිව විශ්වාස කළා. ඉදිරියේදීත් ඒ විශ්වාසය ඒ විදියටම තිබෙන බව අපි දන්නවා.

ප්‍රශ්නය - ඔබ ජනවාරි අටවැනිදා පෙරළියක්‌ ගැන කතා කරනවා. ඔබේ පෝස්‌ටරයක තිබෙනවා පෙරළියට කරලිය හැදූ රවී කරුණානායක කියලා. ඒත් අපිට පේන විදිහට ඇමැතිතුමා මේ "පෙරළියට" අයිතිකාරයෝ ගොඩක්‌ ඉන්නවා.

පිළිතුර - කතාවක්‌ තියෙනවා. ජයග්‍රහණයට පියවරු දහසයි. පරාජය අවජාතකයි කියලා.

ඒක තමයි මට මේකට දෙන්න තියෙන හොඳම උදාහරණය. අපේ නායකතුමා රනිල් වික්‍රමසිංහ මහතා සහ මම දන්නවා ඒ මොහොතේ සිද්ධවුණේ මොකක්‌ද කියලා. මම හිතන්නේ පසුගිය කාල වකවානුවේ සිදු වූ දේ ගැන අවධානයෙන් හිටපු අය දන්නවා රවී කරුණානායක හිටියේ කොතැනද කියලා. මම කවදාවත් මේ පක්‍ෂයට ෙද්‍රdaහීකම් කළ කෙනෙක්‌ නොවෙයි·

මම පක්‍ෂය ආරක්‍ෂා කරන්න පටන් ගත්තේ ඡන්දයක්‌ ආපු නිසා නෙවෙයි. ඊට පෙර සිටයි.

ප්‍රශ්නය - ජනවාරි අටවැනිදායින් පසු ජනතාවට දීපු දේවල් ගැන එජාපය නිතර කියනවා. විපක්‍ෂය නොදීපු දේ ගැන කියනවා. (ප්‍රශ්නය අසා නිමවීමට පෙර)

පිළිතුර - ඔබේ ප්‍රශ්නය මොකක්‌ වුණත් මගේ උත්තරය මේකයි. අපි මුකුත් දුන්නේ නෑ කියන අය නිශ්චිතවම ඒ ගැන කෙහෙවත් සඳහන් කරන්නෙත් නෑ. රූපවාහිනී සංවාදයකට ආවත් ඒ අයට කියන්න දෙයක්‌ නෑ.

මම අහන්නේ අපි රජයේ සේවකයන්ගේ වැටුප වැඩි කළේ නැද්ද? විශ්‍රාම වැටුප වැඩිකළා. 2009 වර්ෂයේ ඉඳලා පසුගිය ආණ්‌ඩුව නොදී හිටපු දේවල් අපි දුන්නා.

ප්‍රශ්නය - පසුගිය ආණ්‌ඩුව වැටුප් වැඩිකළේ නෑ කියන කතාව වැරදියි.

පිළිතුර - හේතුව කියන්න

ප්‍රශ්නය - තුන්දහසක වැටුප් වැඩිවීමක්‌ දීලා තවත් දෙදහස්‌ පන්සියයක්‌ 2014 ජුලි මාසයේ ඉඳලා දෙන්න සැලසුම් කරලා තිබුණා.

පිළිතුර - වැඩිකළාට කෙහෙද සල්ලි තිබුණේ. ඒ ආණ්‌ඩුව පටන් ගත්ත දවසේ ඉඳලා දුන්නා දුන්නා කියනවා මිසක්‌ කොහෙද දුන්නේ. ඇත්තටම දුන්න පොරොන්දුව ඉටුකළේ අපි... 2005 අවුරුද්දේ ඉඳලා කිව්ව පඩි වැඩිවීම් කෝ කියලයි අපිට අහන්න තියෙන්නේ.

ප්‍රශ්නය - දැන් ඔය කාරණයටම අදාළව ඇහුවොත් ඇමැතිතුමා, එජාපය නිතරම කියන කතාව තමයි පසුගිය රජය උපාධිධාරීන්ට රැකියා දුන්නේ නැහැ කියන එක.... ඒ කාරණයත් බොරුවක්‌ නේ....

පිළිතුර - කොහොමද කියන්නේ...

ප්‍රශ්නය - ඇයි, උපාධිධාරීන් පනස්‌දෙදහකට රැකියා ලබාදුන්නා. අපි දන්නා විදියට කළමනාකරණ සහකාර සේවයටත් විශාල පිරිසක්‌ බඳවා ගත්තා.

පිළිතුර - ඔබ මුලින්ම අවබෝධ කරගත යුතු කාරණයක්‌ තියෙනවා. දැන් සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම එක්‌ලක්‍ෂ හතළිස්‌දහසක්‌ ශුද්ධ වශයෙන් රජයේ රැකියාවලට එකතු වෙනවා. ඒ කියන්නේ විශ්‍රාම යන ප්‍රමාණයට විවිධ හේතු නිසා රජයේ රැකියාවලින් ඉවත්වන ප්‍රමාණය පුරවන්න ඕන.. එතකොට පසුගිය රජය අවුරුදු ගණනාවක්‌ කළේ උපාධිධාරීන් නොසලකා හැරියා. විදිමත් විදියට රාජ්‍ය සේවයට බඳවා ගැනීම් කළේ නෑ. ඒ වගේ තත්ත්වයක්‌ තුළ එවැනි රැකියා ප්‍රමාණයක්‌ දෙන එක පුදුමයක්‌වත්, විශ්වකර්ම වැඩක්‌වත් නොවෙයි. ඒ ආණ්‌ඩුව ගෙදරින් ගෙනත් රස්‌සාවල් දුන්නේ නෑ.

අපි උපාධිධාරීන්ට රැකියා දෙන්නේ ඒ අය අවතක්‌සේරු කරන මට්‌ටමෙන් නෙවෙයි. ඒ අයගේ උගත්කමට සරිලන ගෞරවණීය ආකාරයටයි. ඔය කියන රැකියා මහින්ද ගෙදරින් ගෙනාපු ඒවා නොවෙයි. අවුරුදු ගාණක්‌ නොදී හිටපු රැකියා එකතු කරලා පනස්‌දෙදහසක්‌ වගේ සුළු පිරිසකට දුන්නා.

ප්‍රශ්නය - එජාප ආණ්‌ඩුවක්‌ යටතේ ඔය "සුළු පිරිසට" වඩා වැඩි පිරිසකට රැකියා දෙනවද?

පිළිතුර - ඔව්...... රැකියා දසලක්‍ෂයක්‌ බිහිකිරීම අපේ අරමුණයි.

ප්‍රශ්නය - ඒක ප්‍රායෝගික කාරණයක්‌ නෙවෙයි නේද ඇමැතිතුමා...

පිළිතුර - හරි ආර්ථික කළමනාකරණයක්‌ එක්‌ක නිර්මාණශීලීව රැකියා උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළක්‌ අපිට තියෙනවා.

ප්‍රශ්නය - නිසි ආර්ථික කළමනාකරණයක්‌ කිව්වට, මේ වෙනකොට රටේ සංවර්ධනය ඇනහිටලා. මහාමාර්ග, සංවර්ධන ව්‍යාපෘති අතරමග නතර වෙලා. පසුගිය ආණ්‌ඩුව ඔය සේරම කළ බව විපක්‍ෂය කියනවා.

පිළිතුර - ඔය ප්‍රශ්නය ශ්‍රී.ල.නි.ප. මූලස්‌ථානයේ ඉඳලා එන ප්‍රශ්නයක්‌ කියලයි මට හිතෙන්නේ. මොලේ කියලා කළඳක්‌ හරි තියෙන කෙනකුට තේරෙනවා අපි බලයේ හිටියේ දින 180 යි. පසුගිය ආණ්‌ඩුව අවුරුදු එකොලහක්‌ බලයේ හිටියා. එතකොට අපි දින 180 ක්‌ ඇතුලේ නිසි ආර්ථික කළමනාකරණයක්‌ තියෙන නිසා තමයි ආවාට ගියාට සංවර්ධන වැඩකටයුතු නොකරන්නේ. ඒ දින ගණනට අපි කරපු දේවල් අවුරුදු එකොළහක්‌ බලයේ හිටිය අය කළ දේවල් වලට වඩා වැඩියි. අනික මට කියන්න නවත්වලා තියෙන සංවර්ධන වැඩකටයුතු මොනවද කියලා.

ප්‍රශ්නය - උදාහරණයක්‌ විදියට අධිවේගී මාර්ග, මහා මාර්ග තැනීම නතර කරලා.

පිළිතුර - නතර කරලා නෙවෙයි. නිසි විදියට ශක්‍යතා වාර්තා කැඳවලා, මිල ගණන් කැඳවලා, කාටවත් කොමිස්‌ කුට්‌ටි ගණන් නොයන විදියට ඒ වැඩකටයුතු කරන්න සැලසුම් කරනවා. පසුගියදා කඩවත සිට මීරිගම දක්‌වා අධිවේගී මාර්ගයට අපි මුල්ගල තිබ්බා. මේ ගැන ගවේෂණය නොකර මේ ප්‍රශ්න අහන එක ගැන මම කනගාටු වෙනවා.

පසුගිය ආණ්‌ඩුවේ බිලියන ගණන් කොමිස්‌ ගැහුවා. අන්ත දූෂිත ව්‍යාපෘති තිබියදී මේ දින 180 ක කෙටි කාලයක කරන නිවැරදි සැලසුම්a ගැන ප්‍රශ්න කරන එක වැරදියි.

ප්‍රශ්නය - දින 180 ට හරියන වංචාවක්‌ ගැන මේ ආණ්‌ඩුවටත් චෝදනා තියෙනවා. බැඳුම්කර වංචාව ඔය සේරම දූෂණවලට වඩා ඉහළයි නේද?

පිළිතුර - ඔය ප්‍රශ්නය කෙළින් අහපු එක ගැන ස්‌තුති කරනවා. මේක අපේ ආණ්‌ඩුවට එරෙහිව මඩගහන්න පාවිච්චි කරනවා. අපි අහන්නේ මොකක්‌ද මේ දූෂණය, මොකක්‌ද වුණ පාඩුව. මේ ක්‍රමවේදය පිළිබඳව අවබෝධයක්‌ නැතිකමයි තිබෙන්නේ. මේකේ මූල්‍ය අලාභයක්‌ වුණා කියන්නේ කොහොමද? සියයට අටයි දශම නවයි පහක්‌ අවුරුදු පහකට ගන්න තිබියදී සියයට එකොළහයි දශම හතයි පහක්‌ ගෙවනවා අවුරුදු තිහකට. සරලව කිව්වොත් මේ බැඳුම්කර නිකුත් කර තිබෙන්නේ වසර 30 ක්‌ කල්පිරීමෙන් පසු ගෙවෙන ආකාරයටයි. මේ බැඳුම්කර නිකුතුවේ ප්‍රතිඵල බලන්න තවම කාලයක්‌ නෑ. ඒ ප්‍රථිපලය නිවැරදිව ගණන් හදන්න පුළුවන් වෙන්නේ හිතෙන හිතෙන ගණන් කියලා නෙවෙයි. වෙළෙඳපොළ අගයන් ඉහළ පහල යන ආකාරය නිවැරදිව අධ්‍යයනය කර නිවැරදිව විමර්ශනය කරලයි. ඒ කියන්නේ තව අවුරුදු දෙකකින් මෙයින් ලාබ වෙනවද පාඩු වෙනවද කියන එක අපිට කියන්න බෑ. දැන් ඔය චෝදනා කරන අය උදේට කියන දේ නොවෙයි හවසට කියන්නේ. මාතර මිනිහා කියන ගාණ නෙවෙයි හෝමාගම මිනිහා කියන්නේ. කොටින්ම මේ ගැන විපක්‍ෂයටත් හරියට කියන්න දෙයක්‌ නෑ.

ප්‍රශ්නය - දැන් මේ ආණ්‌ඩුව නිවැරැදියි. දූෂණය පිටු දකිනවා. ඉස්‌සෙල්ලා ආණ්‌ඩුවේ දූෂිතයන්, හොරු අල්ලනවා. ඇමැතිතුමා එජාපය මේ කතාව මන්තරයක්‌ වගේ ජප කළාට තාමත් හොරෙක්‌ අල්ලගන්න බැරිවෙලා තියෙනවා නේද?

පිළිතුර - ඒක මම පිළිගන්නවා. මම කියන්නේ ඒක යහපාලනයේ දුර්වලතාවක්‌ කියලයි. අපි අදාළ ආයතනවලට ඒ දේවල් බාරදීලා තියෙනවා නම් ඒක කෙරෙන්න ඕන. දැන් අවි ආයුධ ගබඩාවක්‌ පෙන්නලා තොරතුරු දීලා ඒක අත්අඩංගුවට ගන්න කිව්වම පොලිsසිය ඒක කරන්නෙ නෑ. නීතිපති දෙපාර්තමේන්තුව ඒකට මැදිහත් වෙනවා. හැබැයි ඒක නිවැරැදි මැදිහත්වීමක්‌ නෙවෙයි. නැත්නම් මේ පේන්න තියෙන හොරකම්වලට අදාළව සෘජුව ක්‍රියා නොකරන්නේ ඇයි? ඒක මටත් ප්‍රශ්නයක්‌.

ප්‍රශ්නය - ඊළඟ ආණ්‌ඩුවේ බලය එජාපයට ලැබුණොත් ඔය කියන දේවල් කරන්න පුළුවන් කියලා විශ්වාසයක්‌ තියෙනවද?

පිළිතුර - අනිවාර්යයෙන් හිතෙනවා. මුලින්ම ස්‌වාධින කොමිසන් සභා පත් කරනවා. පොලිසිය ද අරකද මේකද කියන්නේ නැතුව බොහෝම ස්‌වාධීනව මේ පරීක්‍ෂණ කරන්න. මම සරල උදාහරණයක්‌ දෙන්නම්. පොලිසියට කිව්වම මඟ නැගුම, දිවිනැඟුම මේ වගේ කටවුට්‌ බෝඩ් ගලවන්න කියලා පොලිසිය ඒක කරන්නේ නෑ. හැබැයි අපේ ඒවා ගලවනවා. මම කියන්නේ තවමත් මේ රාජ්‍ය යාන්ත්‍රණයේ බොහෝ ආයතන ස්‌වාධීන නෑ. මම මැතිවරණ කොමසාරිස්‌තුමාව අගය කරනවා. එතුමා කීව හැටියේම සියලුම බෝඩ් ගලවන්න නියෝග දුන්නා. වහාම ගැලෙව්වා.

ප්‍රශ්නය - එජාපයේ පංච විධ සැලැස්‌ම ප්‍රායෝගික එකක්‌ නොවන බවට විවේචන තිබෙනවා.

පිළිතුර - වැඩබැරි දාසලාට කරන්න බැරි, ඒත් කළ හැකි වැඩපිළිවෙළක්‌ අපි ඉදිරිපත් කරලා තියෙනවා. ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක වන ක්‍රමවේදයන් අපි ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ කැමැත්තට ඉඩදීලයි. පංච විධ සැලැස්‌මේ නිදහස, ආර්ථිකය, යටිතල පහසුකම්, දූෂණයට තිත, අධ්‍යාපනය වැනි කරුණු ඇතුළත් වෙලා තියෙනවා. අපිට පුළුල් වැඩපිළිවෙළක්‌ තියෙනවා. පසුගිය ආණ්‌ඩුවේ කොමිස්‌ ගැහිල්ලට බයේ රටට ආපු නැති ආයෝජකයෝ විශාල පිරිසක්‌ මේ රටට එනවා.

මේ රටේ ජනතාවගේ අතමිට සරු කරන ආර්ථික සංවර්ධනයක්‌ කරන්න පුළුවන් එජාපයට විතරයි.