You are here:: News Center Interviews ණය වැයක් වෙනුවට අයවැයක් ගේනවා--මුදල් අමාත්‍ය රවි කරුණානායක
 
 

ණය වැයක් වෙනුවට අයවැයක් ගේනවා--මුදල් අමාත්‍ය රවි කරුණානායක

AddThis Social Bookmark Button

111111Ravi-Karunanayaka-400-hmdසම්මුතිවාදී රජයේ පළමු සර්ව සම්පූර්ණ අයවැය අදයි. ඊට පෙරත් අතුරු අයවැයක් ඔබ ඉදිරිපත් කළා නේද? ඔව්!

ඔබට මතක ඇති මේ රටේ මේ වසරේ ජනවාරි 08 වැනිදා විශාල පෙරළියකට මුල පිරූ බව. එදා පැවැති ජනාධිපතිවරණයෙන් විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විධායක ජනාධිපති ධුරයට පත්වුණා. ඒ සමඟම අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රමාත්‍ය ධුරයට පත් වුණා.‍

එදා අපි මැතිවරණයට ඉදිරිපත් කළ, දින සීයයක් ඇතුළත ජනතාවට ක්ෂණික සහන ලබාදීමේ පොරොන්දුව ඉටු කිරීමට තමයි අතුරු අයවැයක් ඉදිරිපත් කළේ. ඒ මේ අවුරුද්දේ ජනවාරි 29 වැනිදා. එදා අපි ජනතාවට සහන ගොන්නක් ලබා දුන්නා.

රජයේ දින සියයේ වැඩසටහනෙන් ජනතාව බලාපොරොත්තු වුණේ ඉක්මන් ආර්ථික සහන විතරක් නෙමෙයි.

ආර්ථික සහනත් එක බලාපොරොත්තුවක්. නමුත්? ජනතාව බලාපොරොත්තු වූ ප්‍රධානම දේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ නිදහස ස්ථාපිත කිරීම, සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැඟීම, වංචා හා දූෂණ මර්දනය කිරීම, ශ්‍රී ලංකාවේ ජාතින් අතර සමඟිය හා සහජීවනය ගොඩනැඟීම ආදියයි. ඒ බලාපොරොත්තුව ඉටු කරන්න අපි මේ රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වැනි සංශෝධනය ඉදිරිපත් කළා. ඒ ගැන මම වැඩිදුර කථා කරන්න යන්නේ නැහැ. මම මට භාරවූ මුදල් විෂය පාර්ශවයෙන් රටේ ජනතාවට ලබා දුන් ආර්ථික සහන ගැන කථා කරන්නම්.

රජය මහා විශාල බලාපොරොත්තු දීල, බලයට ආවත්, දින සිය‍ෙය් වැඩසටහනින් පවා ජනතාවට දැනෙන ආර්ථික සහන ලැබුණේ නැහැ කියා විපක්ෂය චෝදනා කරනවා.

විපක්ෂය හැමදාම කරන්නේ ඒ දේ නේ. ඒ අය ආණ්ඩුව කරද්දී මොකක්ද? කළේ. ජනාවගේ සල්ලි සූරාගෙන කාලා පවුලක්, පවුල් කිහිපයක් සුර සැප වින්ඳා. මම කියන්නම් අපේ රජයේ දින සියයේ වැඩසටහන්, අපේ අතුරු අයවැයෙන් ජනතාවට ලැබුණු දුන්නු සහන මොනවාද? කියා.

ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඩීසල් ලීටරයක මිල රු.95 දක්වා සියයට 14.4කින් අඩු කළා. ඒවාගේම පෙට්ට්‍රල් ලීටරයක මිල රු.117දක්වා සියයට 22කින් අඩු කළා. භූමිතෙල් ලීටරයක මිල රු.65දක්වා සියයට 20කින් අඩුකළා. කිලෝ ග්‍රෑම්12.5 ගෑස් සිලින්ඩරයක මිල රු.1596 දක්වා රු.300කින් අඩුකළා. මේවා ජනතාවට ඍජුවම ලැබුණු සහන. මේ වාගේ සහන සන්ධාන රජය කිසි කාලෙක දීලා තිබුණේ නැහැ. ඒ අය ඩීසල්, පැට්ට්‍රල්, භූමිතෙල් මිල අඩු කළේ රු.10ටත් අඩුවෙන්. අපි වාගේ එකවර ලොකු ගාණකින් ඒවායේ මිල අඩු කළේම නැහැ.

ඒ විතරක් නොවෙයි, අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 13ක් මත පනවා තිබූ බදු ඉවත් කළා. ජනතාවට විශාල සහනයක් ඉන් ලැබුණා‍. ලැබුණේ නැද්ද?

නමුත්! ඇමැතිතුමා තේ, රබර් වාගේ වැවිලි භෝගවලට ලබා දෙනවා කිවු සහතික මිල ලැබී නැහැ. ගොවි ජනතාවගේ ආදායම් පහළ වැටිලා තිබෙන්නේ.

හොඳ ප්‍රශ්නයක් ඇහැව්වේ. අපි රබර් කිලෝවකට රු.350/-, තේ දළු කිලෝවකට රු.80/-, අර්තාපල්වලට රු.80/- සහතික මිලක් දීමට කටයුතු කළා. මේවා නිෂ්පාදනය කළ විට අපි කාටද? ඒවා අලෙවි කරන්නේ‍. ඒවා දෙන්නේ ලෝකයේ අපේ භාණ්ඩ මිලදී ගන්නා රටවලට. නමුත් මේ කාලයේ ලෝකයේ ආර්ථිකය ටිකක් මන්දගාමියි. අපේ භාණ්ඩ මිලදී ගන්නා රටවල්වලටත් ප්‍රශ්න තිබෙනවා. වෙළෙඳාම අඩුයි. එ‍ෙහම වුණා කියා අපි මේ ප්‍රශ්නයෙන් පැන යන්නේ නැහැ. තේ, රබර් අර්තාපල් ගොවීන් විතරක් නෙමෙයි මුළු ගොවි ජනතාවම නඟා සිටුවන්න අපි අලුත් වෙළෙඳපොළ සොයාගෙන යනවා. ඒවාගේම සහතික මිලකට භාණ්ඩ මිලදී ගන්න විධිමත් යාන්ත්‍රණයක් ඇති කරනවා. මේ අයවැයෙන් ඒ ප්‍රශ්න ඔක්කෝටම පිළිතුරු ලැබෙනවා.

ජාතික අයවැය කියන්නේ, ඉදිරි වසරේ රජයේ ආදායම් වියදම් ඇස්තමේන්තුවටයි. ඔබට ඉදිරිපත් කරන්නට වෙලා තිබෙන්නේ ආදායමට වැඩි වියදමක් තිබෙන හිඟ අයවැයක්.

මට විතරක් නොවෙයි, අපේ රටේ අයවැය ඉතිහාසය ගත්තාහම බොහෝ දෙනෙක් ඉදිරිපත් කරල තියෙන්නේ හිඟ අයවැයක්. දැන් අපි බලන්න ඕනෑ කොහොමද? රටක් විදිහට අපි එයින් ඉදිරියට එන්නේ කියලා. මට සහතික වශයෙන් කියන්න පුළුවන් ජනපති - අගමැති සුසංයෝගයෙන් ක්‍රියාත්මක මේ රජය අද අඩිතාලම දමන්නේ ණය නොවී වැය පියවා ගන්නා රටක් බිහි කිරීමේ යෝධ ගමනටයි කියලා.

ණය නොවී වැඩ කරන්න මේ රජයේ ආදායම් වැඩිකරන්න ඕන නේද?

අනිවාර්යෙන්ම ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුමයි. අපේ රටේ 1978 වසරේදී දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 27ක් 30ක් රාජ්‍ය ආදායම තිබුණා. නමුත්! එය ක්‍රමිකව අඩුවෙන්න පටන් ගත්තා. ගිය අවුරුද්දේ එහි ප්‍රතිශතය වුණේ 12.2ක්. රජයේ ආදායම් අඩුවෙන ගමන් රජයේ වියදම් පැත්ත විශාල ලෙස ඉහළ ගියා.

ආදායම් අඩුවීමට හේතු?

රටේ ආර්ථිකය වර්ධනය කරන්න ඕනෑ කියලා අපනයන ප්‍රවර්ධනය කරන්න නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තියක් අනුගමනය කරලා බදු ඉවත් කළා. බදු ප්‍රතිශත අඩු කළා.

බදු සහන ලබා දුන්නා. ඒවාගේම බදු පරිපාලනයේ තිබෙන දුර්වලතා බදු අයකර ගැනීමේ තිබෙන ගැටලු මේවාට හේතු වුණා. සමහර බදු ගෙවන්නට පුළුවන්කම තිබෙන මහා ධනවත්තු නිසි ලෙස බදු ගෙව්වේ නැහැ. පොඩි මිනිසුන් පමණක් බදු ගෙවනවා. අපි මේ ප්‍රශ්නවලට මේ අයවැයෙන් විසඳුම් ලබා දෙනවා.

අද ඉදිරිපත් කරන අයවැයෙන් පොඩි මිනිසුන්ට තව බදුබර පැටැවෙයිද?

නැහැ! බදු ගෙවන්න පුළුවන්කම තිබෙන හරියාකාරව බදු නොගෙවන ඒවාගේම මෙතෙක් කවරදාකවත් නිසි ලෙස අවධානය යොමු නොකළ අංශවලින් බදු අයකරන්න පියවර ගන්නවා. පොඩි මිනිසුන්ට කිසිම බද්දක් ගහන්නේ නැහැ. සුපිරි අයට ටිකක් වැඩියෙන් බදු ගෙවන්න වෙයි.

පසුගිය ආණ්ඩුවට නිසි ලෙස බදු අයවුණේ නැහැ කියන්නේ කොහොමද?

මම කියන්නම් පසුගිය ආණ්ඩුව කාලයේ සුරා බදු ආදායම අවුරුද්දටම රුපියල් මිලියන 150, 200යි. අපි බලයට පැමිණිලා, ජනවාරි 08න් පටන්ගත් ආණ්ඩුව කළ ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වශයෙන් මාසයෙන් මාසය බලද්දී අපේ සුරා බදු ආදායම වැඩිවුණා. එක මාසයක ආදායම රුපියල් මිලියන 9000යි. කොහොමද? මෙහේම

එක පාරටම ආදායම් වැඩිවුණේ එහෙම වුණේ අපි නිසි ලෙස ආදායම් එක්රැස් කිරීමට නිලධාරින්ට ඉඩදුන් නිසයි.

අල්ලස්, දූෂණ, වංචා නැති කළ නිසාද?ඔව්!

අපි අල්ලස, දූෂණ, වංචාව හොර මගඩි අවම කරන්න නොවෙයි නැත්තටම නැති කරන්නයි, යහපාලනය තුළ කටයුතු කරන්නේ.

මේ වනවිට රජයේ වියදම් පැත්තත වැඩිවෙලාද? අඩුවෙලාද?

රජයේ වියදම් පැත්ත වැඩි වී තිබෙනවා. අපි ජනතාවට සහන ලබාදුන්නා. රාජ්‍ය සේවකයාට වැටුප් දීමනා වැඩි කළා. විශ්‍රාමිකයාට වැටුප් දීමනා වැඩිකළා. සමෘද්ධිය සියයට 200කින් වැඩිකළා. මේ හේතු නිසා රජයේ වියදම වැඩිවී තිබෙනවා. අපේ එදිනෙදා වියදම් පියවා ගන්නට, වාර්ෂික ආදායම ප්‍රමාණවත් නැහැ. පුනරාවර්තන වියදම් ටික පියවා ගන්න තරමට රජයේ ආදායම වැඩිකරගත හැකි ආදායම් යෝජනා අපි මෙවර ගෙන එනවා.

යටිතල පහසුකම් දියුණු කරන්න අවශ්‍ය මුදල් සොයා ගන්නේ කොහොමද?

ලංකා ඉතිහාසයේ රටේ භෞතික හා මානව සම්පත් ගොඩනගන්න වෙන් කරන විශාලතම ආයෝජන මුදල මෙවර අයවැයෙන් අපි වෙන්කරනවා. ඒවාගේම රජයේ වියදම පුළුවන් තරම් තාර්කිකකරණය කරනවා.

ඒ කියන්නේ?

බොරු සංදර්ශන, නාස්තිකාර වියදම් නැත්තටම නැති කරනවා. මේ රටේ බදු ගෙවන ජනතාවගේ සෑම සතයක්ම රටේ දියුණුවටත් ජනතාවගේ සුබසාධනයටත් ඉහළට යොදවන්න කටයුතු කරනවා.

මිත්‍රශීලි විදේශීය, දේශීය මාර්ගවලින් අඩු පොලියට, සහනදායි කොන්දේසි යටතේ අරමුදල් ලබා ගන්නවා. රාජ්‍ය ව්‍යවසායවලට ඉලක්ක ලබාදී ඒවායේ කළමනාකාරිත්වය දියුණු කර, ජනතාවට පැටැවෙන බර අඩු කරනවා.

සෑම දෙනාම මේ උදාවී තිබෙන වටිනා අවස්ථාවේ රට ගැන සිතලා, දේශපාලන, පක්ෂ පාට බේද, වෙනත් බේද නොතකා අපි සමඟ එකතු වෙයි කියලා සිතනවා. ඒ තුළින් දියුණු ශ්‍රී ලාංකික ජාතියක් බිහි කරන්න අපි අඩිතාලම දමනවා.