You are here:: News Center Interviews දුන්නත්හොඳනැහැ; නොදුන්නත්හොඳනැහැ!! - මුදල් ඇමති රවී කරුණානායක
 
 

දුන්නත්හොඳනැහැ; නොදුන්නත්හොඳනැහැ!! - මුදල් ඇමති රවී කරුණානායක

AddThis Social Bookmark Button

11111Interview* වෙන මුකුත් නොවෙයි කුහකකම!
*ඉඩම් දෙන්නේ ආයෝජනයට විතරයි
* අපිට ආදායම් ඉලක්‌ක සපුරා ගන්න පුළුවන්....

මුදල් ඇමති රවී කරුණානායක මහතා ඉකුත් නොවැම්බර් 20 වැනිදා නව රජයේ පළමු අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. දැන් මේ අයවැය ගැන සමාජය තුළ පුළුල් සංවාදයක්‌ ඇති වී තිබේ. අප කොතරම් කතා කළත් ඇතැම් අයවැය යෝජනාවල අරමුණ දන්නේ මුදල් ඇමතිවරයා ප්‍රමුඛ අයවැය සම්පාදකයින්ම පමණය. ඒ නිසා මෙවර අයවැය ගැන අපි මුදල් ඇමැති රවී කරුණානායක මහතාගෙන් කෙළින්ම ප්‍රශ්න කළෙමු. ඒ අනුව පහතින් සටහන් වන්නේ "දිවයින ඉරිදා සංග්‍රහය" ඇසු ප්‍රශ්නවලට මුදල් ඇමැතිවරයා ලබා දුන් පිළිතුරුයි.

 

ප්‍රශ්නය - මුදල් ඇමැතිතුමනි, මෙවර අයවැය (2016) විවිධ අය විවිධාකාරයෙන් හඳුන්වනවා. අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ඔබ මේ අයවැය හඳුන්වා දෙන්නේ කෙසේද?

පිළිතුර - ඉදිරි දැක්‌මක්‌ සහිත සංවර්ධනාත්මක අයවැයක්‌ ලෙස මෙවර අයවැය මට හඳුන්වන්න පුළුවන් .

ප්‍රශ්නය - මෙවර අයවැයෙනුත් භාණ්‌ඩ වර්ග කිහිපයක මිල අඩු කරන්න පියවර ගෙන තිබෙනවා. එහෙත් දිගුකාලීනව බඩු මිල ඉහළ ගොස්‌ උද්ධමනය ඉහළ යැමට තුඩු දෙන, ඒවගේම ආර්ථික වර්ධනය අඩු වීමට තුඩුදෙන ලක්‌ෂණ මෙහි අන්තර්ගතව පවතින බව ඇතැම් අය ප්‍රකාශ කරනවා. මේ ගැන ඔබ ප්‍රකාශ කරන්නේ කුමක්‌ද ?

පිළිතුර - ඔය කියන්නේ ඔහේ කුහක කමට කියන ඒවානේ. දුන්නත් හොඳ නෑ. නොදුන්නත් හොඳ නෑ. බඩු මිල අඩු කළත් වැරැදියි, නොකළත් වැරැදියි. මොකක්‌ද මේකේ තේරුම?

ප්‍රශ්නය - මෙවර අයවැය යෝජනාවක්‌ තිබෙනවා ගම් දියුණු කිරීම සම්බන්ධව. ඒ සඳහා කොපමණ මුදලක්‌ වෙන්කර තිබෙනවාද?

පිළිතුර - මේ සදහා රු. කෝටි 2100 ක්‌ දීල තිබෙනවා .

ප්‍රශ්නය - මෙවර අයවැයෙන් පොහොර සහනාධාරය වී වලට සීමා කරලා, අනෙකුත් වගාවන්ට පොහොර සහනාධාරය අහිමි කරලා තියෙනවා. ඇයි එහෙම කළේ. එහි අරමුණ කුමක්‌ද?

පිළිතුර - පොහොර සහනාධාරය අඩු කරලා නැහැ. අපි මේ සැරේ කරලා තිබෙන්නේ ඒ සඳහා යන වියදම මුදලින් ලබා දීමයි. වෙළෙඳපොළ මිල අනුව එය ලබා දෙනවා.

ප්‍රශ්නය - එතකොට ඔබ කියන්නේ එළවළු ඇතුළු අනෙකුත් වගාවන්ටත් පොහොර සහනාධාරය ලබා දෙන බවද? එනම් පොහොර සහනාධාරය වී වගාවට පමණක්‌ සිමාකර නොමැති බවද?

පිළිතුර - ඒක ගිය වරත් හරියට දුන්නේ නෑනේ. ඒක නිකන් අහම්බෙන් දුන්න මිසක්‌ ඕන කට්‌ටියට දුන්නේ නැහැ. ඒ නිසා අපි මේ සැරේ පොහොර සහනාධාරය ගැන නැවත විමර්ශනයට ලක්‌ කරලා තියෙනවා. මොකද අපි ඒක නිකන් දිදී යන්නේ නැහැ. එය ජනතාවට ඔබින මට්‌ටමට තමයි දීගෙන යන්නේ.

ප්‍රශ්නය - වවුචර් ක්‍රමයට මේ පොහොර සහනාධාරය දීම හරියට ක්‍රියාත්මක වේවිද, මේක ක්‍රියාත්මක වන ආකාරය අධීක්‌ෂණය කරන්න රජයට වැඩපිළිවෙළක්‌ තිබෙනවද? දැන් පාසල් ළමුන්ගේ නිල ඇදුමටත් වවුචර් දෙන්න යනවනේ?

පිළිතුර - මේකේ අක්‍රමිකතා ගණනාවක්‌ තිබුණා. අපි ඩිජිටල් හැඳුනුම්පත් ක්‍රමයක්‌ පටන් ගන්නවා. ඊට පසුව අපි මේක හදලා දීලා තිබෙනවා, මේක ලැබිය යුතු අයට ලැබෙන මාර්ගයක්‌ ලෙස. දැනට මේ දෙන ක්‍රමයේ දුෂණ හුඟක්‌ තියෙනවා. පාසල් නිල ඇඳුම් වවුචරයේ අයිතිය කෙළින්ම තිබෙන්නේ දෙමව්පියන්ටයි. ඔවුන්ට ඕන එකක්‌ කරන්න පුළුවන්. කිසිම පාඩුවක්‌ වන්නේ නැහැ.

ප්‍රශ්නය - විදේශිකයන්ට ඉඩම් මිලදී ගැනීම සදහා දුන් සහන ගැන රජයට විවිධ චෝදනා එල්ල වෙනවා. රජය පැත්තෙන් එහි අදහස අපට පැහැදිළි කර දෙන්න?

පිළිතුර - මින් අපි බලාපොරොත්තු වන්නේ ආයෝජන ලබා ගැනීමයි. ආයෝජනය ආවොත් අපි ලබා ගන්නවා.

ප්‍රශ්නය - ආයෝජනය සදහා පමණද, නැතහොත් විදේශිකයකු පුද්ගලිකව ඉඩම් මිලදී ගැනීමටත් මේ සහනය ලැබෙනවාද?

පිළිතුර - නැහැ. ආයෝජන සදහා පමණයි.

ප්‍රශ්නය - පසුගිය රජය සිය සංවර්ධන වැඩපිළිවෙල තුළ සංචාරක ව්‍යාපාරයට ඉහළ ප්‍රමුඛත්වයක්‌ ලබා දීල තිබුණ. මැතිවරණ වේදිකාවේදී ඒ සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කරමින් ඔබ පක්‌ෂයේ ඇතැම් අය ප්‍රකාශ කළේ සංචාරක ව්‍යාපාරයෙන් පමණක්‌ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න හදනවා කියලයි. නමුත් මෙවර අයවැයෙන් ඔබතුමාත් සංචාරක ව්‍යාපාරයට ලොකු වැදගත්කමක්‌ දීල තිබෙනවා. ඒ කියන්නේ සංචාරක ව්‍යාපාරයේ වැදගත්කම ඔබතුමාලත් දැන් හදුනාගෙන තිබෙනවා?

පිළිතුර - ඔව්. හඳුනාගෙන තිබෙන නිසානේ අපි ඒ අංශයට දිරිගැන්වීම් දෙන්නේ. එහෙම හඳුනාගෙන තියෙන විශේෂ අංශවලට අයවැයෙන් අපි විශේෂ අවධානය යොමු කරලා තියෙනවා.

ප්‍රශ්නය - ගිය අතුරු අයවැයෙන් හදුන්වා දුන් සුපිරි වාසි බද්ද වැනි ඇතැම් ආදායම් යෝජනා, පනත් සම්මත කරගැනීමට නොහැකි වීමේ හේතුව නිසා හෝ හරියට ක්‍රියාත්මක කරගන්න ගැටළුවක්‌ ආවා. දැන් මේ අයවැයේ ආදායම් යෝජනා හරියට ක්‍රියාත්මක කරගන්න රජයට වැඩපිළිවෙලක්‌ තිබෙනවාද? හේතුව ආදායම් හරි හැටි එකතු නොවුණොත් රජයට වැඩියෙන් ණය ගන්න සිදු වෙනවා?

පිළිතුර - මෙහෙමනේ... අපි අරක දුන්නම අහනවා මේක දුන්නේ නැත්තේ ඇයි කියල. මේක දුන්නම අහනවා අරක දුන්නේ නැත්තේ මොකද කියලා. අපි කිරියි පැණියි දුන්නොත් අහයි ඇයි පැණි ඔච්චර පැණි රස වන්නේ කියල. ඒ වගේ හැමදේටම මොනවා හරි කියයි. හැමදේටම මොනව හරි තියෙනවා කරන්න. අපි මේක හදාගෙන ඉදිරියට යමු.

ප්‍රශ්නය - ඒ කියන්නේ ඔබට හොදටම විශ්වාසයක්‌ තිබෙනවා මේ අයවැයේ ආදායම් ඉලක්‌ක සපුරා ගන්න පුළුවන් කියලා ?

පිළිතුර - ඔව්.

ප්‍රශ්නය - ඔබතුමා එහෙම කිව්වට මේ වසරේ (2015) ආදායම් හිඟය රු. බිලියන 20 සිට බිලියන 180 ට වැඩි වුණා?

පිළිතුර - නෑ. එහෙම වුණේ නෑ. අපි බිලියන 85 ක්‌ කැපුවා. බිලියන 90 ක්‌ අපි ආදායම් වශයෙන් එකතු කළා. ඒකෙනුත් බිලියන 60 ක්‌ දැන් ඇවිල්ල ඉවරයි. ඒක කවදාක්‌වත් අපි වියදම් කළේ නෑ. අවශ්‍ය ප්‍රමාණයට වෙන් කළා.

ප්‍රශ්නය - ඔබතුමා අයවැයට පෙර සිටම ප්‍රකාශ කළා මෙය ප්‍රාග්ධන මූලික අයවැයක්‌ කියල. මෙවර අයවැයේ ප්‍රාග්ධන වියදම් දැරීම සදහා වැඩියෙන්ම අවධානය යොමුකර ඇති අංශ මොනවාද?

පිළිතුර - අපි රු. බිලියන 760 ක්‌ ප්‍රාග්ධන වියදම් වලට වෙන් කරලා තියෙනවා. එම රු. බිලියන 760 අධ්‍යාපනය, සෞඛ්‍ය, යටිතල පහසුකම් සහ රැකීරක්‌ෂා වැනි ප්‍රමුඛත්වය අනුව හොඳම අංශවලට වැඩිපුර ලබල දීල තියෙනවා.

ප්‍රශ්නය - ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය නියෝජනය කරන ආණ්‌ඩුවේ ඇමැතිවරුන්ට අයවැයෙන් මුදල් වෙන් කිරීමේදී අඩු සැලකිල්ලක්‌ දක්‌වන බවටත් චෝදනාවක්‌ තිබෙනවා. ඒ සදහා ඔබ ලබාදෙන පිළිතුර කුමක්‌ද?

පිළිතුර - මම නම් හිතන්නේ වෙලාව නාස්‌ති කරන්න ඔහේ දොඩවන කට්‌ටියක්‌ තමයි ඕව කියන්නේ. ඒ ගැන බය වෙන්න දෙයක්‌ නෑ. අපිට අවශ්‍ය වන්නේ සියලු දෙනාගේම සහාය ඇතිව මේ ගමන යන්න.

ප්‍රශ්නය - අගමැතිතුමාගේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වුණා දැනට සියයට 80:20 අනුපාතයේ තිබෙන වක්‍ර බදු සහ සෘජු බදු අදායම, සියයට 60:40 අනුපාතයේ මට්‌ටමට අඩුකර ගත යුතු බව. එහෙත් අර්ථ ශාස්‌ත්‍රඥයන් ප්‍රකාශ කරන්නේ මේ අයවැයෙන් වක්‍ර බදු වැඩි වෙනවා, එම ප්‍රතිපත්තියට විරුද්ධ පැත්තට යනවා කියලයි. ඒ ගැන ඔබේ අදහස කුමක්‌ද?

පිළිතුර - මම හිතන විදිහට එහි යම් සත්‍යතාවක්‌ තියෙනවා. නමුත් අපි ඒක හරි මට්‌ටමට ගෙනල්ල තියන්න ඕන. අපි එය පාලනය කරගන්න ඕන.

ප්‍රශ්නය - ඔබ කියන්නේ සෘජු බදු ආදායම් වැඩි කරගැනීමේ දිශාවට රජය ගමන් කරන බවද?

පිළිතුර - සෘජු බදු වැඩි කරන්න පුළුවන් මාර්ග තියෙනව නම් වර්ෂ 2020 දී කරන්නයි කියන්නේ. දැන්මම ඒ ගැන හිතන්න අවශ්‍යතාවක්‌ නෑ 

ප්‍රශ්නය - රු. 10,000 ක වැටුප් වැඩිවීම මුලික වැටුපට එකතු නොකළ බවට රජයේ සේවකයන්ගේ පැත්තෙන් චෝදනාවක්‌ තිබෙනවා?

පිළිතුර - මොන බොරුවක්‌ද මේ. දැන් මුදල් ගෙවනවානේ පඩිවලට. ඒකනේ අවශ්‍ය වන්නේ. මේක ගෙවන්නේ පෙන්ෂන් එකට. මේක එකතු කරගන්න කිව්වා. මේක කිව්වත් නැතත් අපි එකතු කරනවා. ඉතින් ප්‍රශ්නයක්‌ නෑ .

ප්‍රශ්නය - ඒ අය කියන්නේ මුලික වැටුපට ඒක එකතු කළේ නැති බවයි .?

පිළිතුර - ඉතින් මොකක්‌ද තියන වෙනස. එකතු කරත් නැතත් ලැබෙන රු. 10,000 එහෙමම මුදලින් හම්බ වෙනවා. මොකක්‌ද ඒකෙ තියෙන වෙනස?

ප්‍රශ්නය - පුද්ගලික අංශයේ පඩි වැඩි කරන්න ඔබ තුමා ගිය අයවැයෙනුත් යෝජනාවක්‌ කළා. ඒ අනුව සමහර ආයතන එම වැටුප් වැඩිවීම ලබා දුන්නත්, තවත් බොහෝ ආයතන එය ලබා දුන්නේ නෑ. මෙවර අයවැය යෝජනා ක්‍රියාත්මක තත්ත්වයට පත් කරන්න කුමන පියවරක්‌ද ගන්නේ ?

පිළිතුර - ඔව්. අපි එය ක්‍රියාත්මක වන තත්වයට පත් කරන්න පියවර ගන්නවා .

ප්‍රශ්නය - මේ අයවැය යෝජනා ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය පරීක්‌ෂා කරන්න මොන වගේ පියවරක්‌ද ගන්නේ. හේතුව අපි දන්නවා අයවැයේ සමහර යෝජනා ක්‍රියාත්මක වුණත් තවත් සමහර යෝජනා හරි හැටි ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා එය අධීක්‌ෂණය කිරීමට අඛණ්‌ඩ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරනවාද?

පිළිතුර - ඔව්. හැමතැනම එම අධීක්‌ෂණය කරන්න අප බලාපොරොත්තු වෙනවා.