You are here:: News Center Interviews මම කියපු දෙයක් රිවස් එකට ගන්න බලාගෙන කියන්නේ නෑ.--රවී
 
 

මම කියපු දෙයක් රිවස් එකට ගන්න බලාගෙන කියන්නේ නෑ.--රවී

AddThis Social Bookmark Button

News pper artමම කියපු දෙයක් රිවස් එකට ගන්න බලාගෙන කියන්නේ නෑ. නායකයන් මට මුදල් ඇමැතිකම දෙන්න පොරොන්දු වෙලා පස්සේ කර ඇරියා. එජාපයේ වැඩබැරි නිකමෝ දෙතුන් දෙනෙකුත් මේක පිටිපස්සේ ඉන්නවා." : අමාත්‍ය රවී කරුණානායක.2015 ජයෙන් පසු ඔබ ගෙනා පළමු අයවැයෙන් විශාල සහන යෝජනා කළාට ඔබ හිතනවද ජනතාවට තාම ඒව මතකයි කියලා

ඉතා ස්තුතියි ඒක මතක් කළාට. මට මුදල් ඇමැතිකම නැතිවුණෙත් ඒක නිසාද දන්නෙ නෑ. මම ඒ මුල්ම අයවැයෙන් ජනතාවට නොදුන්නේ මොනවද? පඩි රුපියල් 10,000 කින්, විශ්‍රාම, මහපොළ, සමෘද්ධි දෙගුණ කළා. පෝෂණ මලු දුන්නා. දරුවන් ලක්ෂ 45 ක් රක්ෂණය කළා. කිරිපිටි, ටින්මාළු වෙනත් අත්‍යවශ්‍ය ආහාර මිල අඩු කළා.

ඒත් බදු ගහලා ජනතාවගෙන් මම ඒව යළි අය කළේ නෑ. මත්පැන් සිගරැට් ආදායම් බදු ආදියෙනුයි ඒවා බැලන්ස් කර ගත්තේ.

ඒත් ඒ වෙනකොට රටේ සල්ලි ලාච්චුව හිස්ව තිබියදී එහි ඵල විපාක ගැන නොසිතා දුන් එම සහන නිසා ආර්ථිකයට එය දරාගත නොහැකි වූ බව පිළිගන්නවද?

මෙලෝ වැඩක් නොදන්න, වැඩක් නොකරපු අයට ඔය වගේ හිස් කතා කියන්න පුළුවන්. නිෂ්පාදිතයෙන් දළ දේශීය ආදායම 10% ක්ව තිබූ රටේ අපි 14% කට වැඩි කලා. ඒ ශක්තියෙනුයි ජනතාවට සහන දුන්නේ. රාජපක්ෂලා වගේ අපි මුදල් නැතිව සෝබන වැඩ කළේ නෑ. එයාලත් පුදුම වුණා අපි මෙහෙම සහන දුන්නේ කොහොමද කියලා. අපට පටවල ගිය අධික ණය බර ගෙවන්න වෙනමමත් සල්ලි හොයන අතරෙයි ජනතාවට සහන දුන්නේ. රුපියල් 2600 ට තිබූ ගෑස් එක 1300 ට දුන්නේ එහෙමයි. හැකියාව මත මිසක් ඇලඩින්ගේ පහන ලැබිලා නෙවෙයි ඒවා කළේ.

නිදසුනක් ලෙස මත්පැන් බදු රාජපක්ෂ ආණ්ඩුව එතෙක් රුපියල් බිලියන 02 යි එකතු කළේ. ඒ බදු හොර පාරේ යන්න නොදී බිලියන 08 ක් දක්වා අපි හෙව්වා. ඒ මුදලින් තමයි සහන දුන්නේ. ගිය රජය අාදායම් බදු ගෙවිය යුතු අයට කට්ටි පනින්න, උදව් කළා. අපි ඔවුන් බෙල්ලෙන්ම අල්ලලා ගෙවිය යුතු බදු අරගත්තා. මම එදා ගෙනා සියලු අයවැය යෝජනා ක්‍රියාත්මක කළා. ගැටලු ඇති වූ තැන් අතහැරියා.

මෙවරත් ඔබ මුදල් ඇමැතිකම බලාපොරොත්තු වුණත් ඒක විවිධ හේතුමත යට ගියා. ‘‘වැඩබැරි නිකමුන්ට ඇමැතිකම් දීලයි’’ ඔබ චෝදනා කළා. අද මොකද කියන්නේ?

මම කියපු දෙයක් රිවස් එකට ගන්න බලාගෙන කියන්නේ නෑ. නායකයන් මට මුදල් ඇමැතිකම දෙන්න පොරොන්දු වෙලා පස්සේ කර ඇරියා. එජාපයේ වැඩබැරි නිකමෝ දෙතුන් දෙනෙකුත් මේක පිටිපස්සේ ඉන්නවා. මම දිගටම කියව කියව ඉන්නේ නෑ. පෙරළුණු බෝට්ටුවෙන් හරි ගමන යාම මගේ ක්‍රමයයි. වැරදි කළ අය ගැන දෙවියන් හා ස්වභාවධර්මය බලා ගනීවි. එච්චරයි.

එජාපෙ තනි ආණ්ඩුවේ පළමු අයවැය ගැන ඔබේ විග්‍රහය ඉතා වැදගත්. බැලූ බැල්මට මෙවර අයවැය ඉතා වර්ණවත් හා රසවත් බව පේනවා. එහි අභ්‍යන්තරයත් එහෙම ද?

රටේ සීමිත සම්පත් අසීමිත ඉල්ලීම්වලට කොහොමද බැලන්ස් කරලා දෙන්නේ කියලා තීන්දු කරන එක තමයි අපේ වගේ රටක අයවැය වෙන්නේ. මේක ලේසි වැඩක් නෙවෙයි. රටේ සංවර්ධනයේ ජනතාවගේ, ශිෂ්‍යයාගේ, කම්කරුවාගේ, ළදරුවාගේ අවශ්‍යතාවලදී ප්‍රමුඛත්වය හඳුනාගැනීම වගේම නිර්මාණශීලීව මේක කළ යුතුයි.

මල නොතලා රොන් අවශ්‍ය තැනකදී එකතු කරන න්‍යායත් වැදගත් වෙනවා. මොකද මල මිරිකලා තලල යමක් අරන් වැඩක් නෑ. ඉතිං මේ අයවැය තුළින් දුන් යෝජනා කොහොමද කියලා වැඩිකල් නොයා කාටත් තේරුම් ගන්න ලැබේවි.

මෙවර අයවැය ගැන ඔබට සැකයක්ද, විචිකිච්ඡාවක්ද සුබවාදී බවක්ද තියෙන්නේ කියලා ඔබ කියන දේ පැහැදිලි නෑ. එය පැහැදිලි කරන්න?

මුදල් ඇමැති අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක මම ඉදිරිපත් කරපු ඒවට සසඳන්න මට බෑ. එහෙම කළොත් සදාචාරාත්මකත් නෑ. ආපු යෝජනා උපරිමව ක්‍රියාත්මක කරන එකයි ආණ්ඩුවක් ලෙස අපට තියෙන්නේ.

මේ අයවැයට අදාළ ඔබේ දැක්ම තවම එළියට ආවේ නෑ. මේ ඇතැම් යෝජනා මහපොළොවේ ක්‍රියාත්මක කළ නොහැකි ප්‍රායෝගික නොවන ඒවා කියලා ඇතැමුන් කියනවා. ඔබත් ඉන්නේ ඒ මතයෙද?

මගේ හිත කියවන්න ඔබ උත්සාහ කරනවා වගෙයි. අපේ ආණ්ඩුවේ අයවැය ගැන විවේචන කරන්න මට සදාචාරාත්මක අයිතියක් නෑ. ඕනම අයවැයක ඉතා හොඳ හා එසේ නොවන දේවල් තිබිය හැකියි. ඒවා තේරුම් ගන්න කාලයට ඉඩ දෙන්න වෙනවා. ඔව්, නෑ, බෑ, හොඳයි, නරකයි වගේ උත්තර මට දෙන්න විදියක් නෑ. මුදල් ඇමැතිතුමාගේ දැක්ම හා මතයයි මේ එළියට ඇවිත් තියෙන්නේ. ඒකට නිදහසේ ගලාගෙන යන්න ඉඩදීම කාගේත් යුතුකමයි.

ගම්පෙරළියට රුපියල් මිලියන 48,000 ක්, පාසල් දියුණුවට මිලියන 32,000 ක්, සරසවි දියුණුවට මිලියන 25,000 ක්, රජයේ සේවකයන්ට, විශ්‍රාමිකයන්ට පඩි වැඩිවීම්, ආබාධිත අයගේ දීමනා දෙගුණ කිරීම්, ආරක්ෂක අංශවලට ඉහළ සැලකීම්, විදෙස් ශ්‍රමිකයන්ට සහන ණය, ක්‍රීඩා දියුණුව, අලුතින් පවුල් ලක්ෂ 06 කට සමෘද්ධි ලබාදීම වැනි වැදගත් යෝජනා රැසක් තිබියදී ඔබ ඒ ගැන කතා නොකරන්නේ ඇයි?

අපි 2015 දුන්නා වගේම හොඳ යෝජනා රැසක් මෙවරත් තියෙනවා. මම ඒක කලිනුත් කිව්වා. මේ මුදල් ඇමැතිත් රටට, ජනතාවට යමක් දීලා තියෙනවා. ඒක මේ ආණ්ඩුවේ පිළිවෙතයි. රාජපක්ෂ කාලේ යමක් දුන්නේ සමස්ත ජනතාවට නෙවෙයි, වටේ හිටපු හෙංචයියන්ට විතරයි. මම මේ අයවැය ගැන සුබවාදීව තමයි කතා කරන්නේ. මම ඔය සමහරු වගේ එහෙම නොකරන කුහකයෙක් නෙවෙයි.

බංකොළොත් රටක් 2015 දී ලැබුණේ, ණයබර මෙච්චරයි වගේ කතා කියමින් මේ වගේ දැවැන්ත සුබසාධන අයවැයක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට මුදල් තියෙනවාද?

ඒක නං ඉතිං මගෙන් අහන්න එපා. එතුමා මේ යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ මුදල් තියෙන නිසා හෝ මුදල් සොයාගත හැකි නිසායි. මට ඒ ගැන සාස්තර කියන්න බෑ. ආණ්ඩුවේ කොටස්කරුවෙක් ලෙස මමත් කියන්නේ අපේ අයවැය අපි ක්‍රියාත්මක කරන්න උපරිමව කැපවෙනවා කියලයි.

මේ අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත සැකසූවක් බවට එල්ලවෙන චෝදනාව ගැන ඔබේ මතය කෙබඳුද?

මාත් එක්ක නම් එදා අයි.එම්.එෆ් එක ඇඟිලි ගහන්න ආවෙ නෑ, දොරෙන් අැතුළට මම එයාලා ගත්තෙත් නෑ. රට වෙනුවෙන් කතා කරලා තර්ක කරලා අපට ඕන දේ මිසක් සුද්දන්ට ඕන දේ අපි බදාගත්තේ නෑ.

මේ අයවැයට අයි.එම්.එෆ්. බලපෑම් ආවද, නැද්ද මම දන්නේ නෑ. අපි එක්ක මේ අයවැය හදනකොට කවුරුවත් කතා කරලාත් නැහැ. ඒ නිසා කොන්දේසි ආවද, ඉල්ලීම් ආවද ‘බ්‍රේක්’ ආවද මම දන්නේ නෑ. එහෙම කරන්න ආවා නම් එළියට බහින්න කියලා දොර පෙන්වන්නයි තිබුණේ.

අයි.එම්.එෆ්. එක බොහෝ විට ලංකාවේ වැනි රටවල මොන ආණ්ඩු තිබුණත් බලපෑම් කරනවා. මෙවර එහෙම නොවූ බවට ඔබට ඇති විශ්වාසය කුමක්ද?

මම දන්නේ නෑ. බලපෑම් ආව වෙන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. බලපෑම්වලට යට වුණා හෝ නොවුණා වෙන්නත් පුළුවන්. බජට් එක හදනකොට මෙයාලා අපට කතා කළේ නැහැනේ. ඉතිං මම කොහොමද ඔබ අහන බරපතළ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ.

අයි.එම්.එෆ්. බලපෑම්වලට අපි යටවිය යුතු නැහැ. එයාලගේ ඇතැම් ඉල්ලීම් සාධාරණ නැහැ. ඒත් නාස්තිය නැති කරන්න, අනවශ්‍ය අධික වියදම් නවත්වන්න, ආණ්ඩුවට ලැබිය හැකි උපරිම ආදායම් එකතු කරන්න, වගේ එයාලගේ අදහස් වටිනවා.

ඒත් අධ්‍යාපනයට, සෞඛ්‍යයට, දුප්පතුන්ට යටිතලවලට මුදල් දාන්න එපා කියලා කිව්වොත් ඒවා පිළිගන්න බෑ.

ඉතිං මෙවර අයි.එම්.එෆ්. එකඟ නොවන බොහෝ ක්ෂේත්‍රවලට දැවැන්ත මුදලක් වෙන් කිරීමට ඇමැති මංගල ක්‍රියා කර තිබීම රටක් ලෙස ලැබූ ජයක් නේද?

කවුද නැහැ කිව්වේ. මුදල් ඇමැතිවරු ඉන්න ඕන එහෙම තමයි. ඒත් අයි.එම්.එෆ්. එක හංගලා ගහන ගේම් තියෙනවා. ඒවටත් අපි යට නොවෙන්න වගබලා ගන්න ඕනෑ. දක්ෂතාව එයයි. ඒක ඉටුවෙන්න ඇති කියලා මම හිතනවා. රුපියල බාල්දු කරන්න කිව්ව නම් ඒකට බැහැ කිව්ව නම් හරි. උතුරු කොරියාව හරි හොඳ දෙයක් කියනවා නම් ඒක පිළිගත්තට ප්‍රශ්නයක් නෑ.

මහ බැංකු හා මුදල් අමාත්‍යාංශ ඇතැම් නිලධාරින් ගැන ඔබට දැඩි විවේචනයක් තිබෙනවා. ඔවුන් තමයි මේ අයවැයට මූලික වුණේ. ඔවුන් අයි.එම්.එෆ්. එකට යටවෙන වක්‍ර ගේම් හැදුවා වෙන්න බැරිද?

මේ රටේ ආර්ථිකය කන්නේ මහ බැංකුවේ ඇතැම් නිලධාරීනුයි. ප්‍රමුඛ බැංකුව, ඊ.ටී.අයි., ද ෆිනෑන්ස් ඇතුළු මූල්‍ය සමාගම් හා එහි ගනුදෙනුකරුවන් විනාශ කළෙත් එයාලයි. ජනතාවට රැකවරණ දීම මහ බැංකුවේ මූලික වගකීමයි. ඒත් විනාශ වෙන්න ඉඩ ඇරලා අහක බලනවා. මොන දඬුවම්ද දෙන්න වෙන්නේ. මිනිස්සු හෙණ ඉල්ලනවා. ඉස්සර මේ නිලධාරින් උද්ධමනය කියලා බැංකුවල මුදල් අඩුකරනවා. තාම උද්ධමනය තියෙනවා. ඒත් දැන් මුදල් වැඩි කරන්න ඉඩ දෙනවා. රටේ හැමෝම මොන්ටිසෝරි කියලද මෙයාලා හිතන්නේ. මම ඔය වගේ පහත් ක්‍රියාවලටයි ගේම ඉල්ලුවේ.

මෙතැන නිලධාරින් හිතන්නේ ඉහළම රටේ පැලැන්තිය එයාලා කියලයි. ඔවුන් ආර්ථිකයේ "Hit Squad" එක කියලා හිතාගෙන ඉන්නේ. එයාලා කියන දේ කරන්න. ඒත් කරන දේ කියන්න එපා කියලයි කියන්නේ. ඒත් මුදල් අමාත්‍යාංශයේ ඉන්නේ මම හරි කියන අයට වඩා අපි කොහොමද හරියට කරන්නේ කියලා හිතන අයයි. මහ බැංකුවේ ඉන්න සමහරු හිතන්නේ ‘‘දෙවියොත්’ උන්ගෙන් අහලයි වැඩ කරන්න ඕන කියලා හිතන අයයි. මේ බක පණ්ඩිතයොයි, රට කන්නෙ.

ස්වර්ණවාහිනී ජාලයේ ප්‍රධානී මනෝ තිත්තවැල්ල මම ඉන්න කාලේ ගේන්න හැදුවා. මම ඉඩ දුන්නේ නෑ. මම ගියාට පසුව එයා මුදල් අමාත්‍යාංශයේ උපදේශක ලෙස ගෙනාවා. මහ බැංකුව කිව්වා ඊ.ටී.අයි. මුදල් එකතු කරන්න වසරක් යනවා කියල. තාම එකතු කරලා නෑ. ස්වර්ණවාහිනී ජාලය දීලා ඩොලර් මිලියන 75 ක් ගන්න තිබුණා. ඒකෙනුත් ඩොලර් මිලියන 70 කට එකඟවෙලා තියෙන්නේ. ඒ කාගේ වුවමනාවටද? ඒකෙනුත් 54 යි අරන් තියෙන්නේ.තක්සේරු කළේ මොන ක්‍රමයටද? ඊ.ටී.අයි. අයට කෝටි 1300 ක් ගෙවන්න තියෙනවා. ඒත් ඩොලර් මිලියන 70 අරන් ඒ මිනිස්සුන්ට නිකං ඉන්නද කියන්නේ. ස්වර්ණවාහිනී ජාලය හා ඊ.ටී.අයි. විකුණපු ගිවිසුම පෙන්වන්නැයි මම මහ බැංකුවේ අධිපතිට හා නිලධාරින්ට අභියෝග කරනවා. ගිවිසුමක්වත් නැතුවයි මේ මහා ගනුදෙනුව කරලා තියෙන්නේ කියලා අාරංචියි.

අනිත් මුදල්වලට මොකද වුණේ?

දෙවියන්ගෙන් අහන්න. මහ බැංකුව මේක අධීක්ෂණය කළා නම් හරියට වැඩේ නොකළේ ඇයි. තමන් වැඩේ නොකර ජනතාවට කියනවා අතේ මෙච්චරයි සල්ලි තියෙන්නේ කියලා. සොරකම වෙන්න ඉඩ ඇරලා, ඊට පස්සේ කියනවා සල්ලි නෑ කියලා.

මේ මුදල් හිටපු හා ඉන්න ආණ්ඩුවල අයත් යටි මඩි ගැහුවද?

ඔව්. ඒක ස්ථිරයි.

මේ අයවැය මැතිවරණය ඉලක්ක කළ එකක්ද?

අපි හැමදාම ජනතාවට සහන දෙන්න හදන ආණ්ඩුවක්. ඕනම ඡන්දයකට අපි ඕනෑම වෙලාවක සූදානම් ශරීරෙන් ඉන්නේ. 2015 අපි සහන දුන්නෙ, ජනපතිවරණය ඉවරවෙලා බව අමතකද? ඊළඟ ජනපතිවරණය එන්නේ මේ වසර අග. ඊට කලින් තවත් අයවැයක් එන්න තියෙනවා.

මේ බජට් එක සම්මත කරගන්න 113 ආණ්ඩුවට තියෙනවද?

113 නෙවෙයි 2/3 ක් ලැබෙන තත්ත්වයක් තියෙනවා.

ජනපතිගේ එදිනෙදා වියදම්වලට දිනකට කෝටි 4 ක් යන බව ආරංචියි. එතුමා ආණ්ඩුවට කකුල් මාට්ටු දාන නිසා එය කපා දමන සංවාදයක් ආණ්ඩුව තුළ තිබෙනවා නේද?

ඔව්. කපා දාමු කියලා හුඟ දෙනෙක් කියනවා. ඒත් ජනපති අගමැති දුරස් කළේ ඒ දෙන්නා ‘ඩීල්’ කරපු අපේ වැඩ බැරි අයයි. රෝගය හඳුනා ගන්න ඕනෑ. ජනාධිපති තාත්තා අගමැති මවගෙන් දැන් ඩිවොස්. ඒත් දෙන්න එකතු වෙලා බිහි කළ දරුවා එනම් මේ ආණ්ඩුව මරාදාන්න එයාලට අයිතියක් නෑ. අනික අපි බලයට ආවේ විධායක ජනපතිකම අහෝසි කරන්නයි. ඒක කළ යුතුයි.

විධායක ජනපතිකම අහෝසි කරනවා නම් බලය උපරිමව බෙදීම, නව ඡන්ද ක්‍රමයක් පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම වැනි දේත් ඕන බව ඇතැම් පක්ෂ කියනවා නේද?

ඒ ඔක්කෝම කරන්න ගියොත් මූලික දේත් කරගන්න බැරි වෙනවා. රටට හෙණයක් වූ විධායක ජනපතිකමයි නැති කළ යුත්තේ. සියලු නායකයන් දැන් ඊට එකඟයි. අපි උත්සාහ කරන්නේ 20 ගේන්න නොව විධායක ක්‍රමය නැති කරන්නයි. මහින්ද රාජපක්ෂටත්, එතකොට රටේ නායකයා ලෙස තරග කළ හැකියි. එතුමාට එතැනදීත් අමතක නොවන පරාජයක් දීලා ගෙදර යවන්නයි අපි හදන්නේ. මොකද පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලය විකෘතියක් බව අපි ඔප්පු කරනවා.

ඇලෝසියස්ගෙන් ගෙවල් ගත්තාය, වාහන කොටස් එකතු කරන ව්‍යාපෘතියක් තිබුණ වැනි චෝදනා එල්ල වී සිටි ඔබ එල්.එන්.ජී. විදුලි ව්‍යාපෘතියක් හරහා රුපියල් කෝටි 9000 ක් අහිමි කළ බවට පුදන කොටම කාපි යකා චෝදනාවකුත් එල්ලවීමත් බරපතළයි නේද?

ඉරිසියාවෙන් පෙළෙන එවුන් යළිත් මඩගහනවා. වරදක් වෙලා නම් ඒක කළේ කව්ද කියලා නම් කියන්න. බන්ධුල ගුණවර්ධන, වසන්ත සමරසිංහ කොම්පැනි 02න් නිලධාරින් ඔක්කෝමත් ගෙන්නලා චෝදනාව කියන්න කිව්වා. කවුරුත් මොකුත්ම කිව්වේ නෑ. බන්ධුල හා වසන්ත එන්නෙත් නැතිව මගඇරියා. ශ්‍රීලනිප නායක ජනාධිපතිතුමාගේ පක්ෂයේ සියඹලාපිටිය අැමැති කාලේ මේ ව්‍යාපෘතියට පදනම දාලා තියෙන්නේ. මේවා හරියට නොදන්න එවුන් ඒ පුටුවේ අද මම ඉන්න නිසා මට ගහන්න හදනවා. මම වගේ වැඩකරන අයට ගහනවා. ඒ ගහන එවුන් මෙලෝ වැඩක් කරන්නේ නෑ.