You are here:: News Center Interviews ආණ්ඩුව තමන්ගේ ප්‍රශ්න වහගන්න විපක්ෂය විවේචනය කරනවා - කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක
 
 

ආණ්ඩුව තමන්ගේ ප්‍රශ්න වහගන්න විපක්ෂය විවේචනය කරනවා - කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක

AddThis Social Bookmark Button
Raviee_front_-bustඑක්සත් ජාතික පක්ෂයේ මෙන්ම රට තුළ පවතින විවිධ දේශපාලන හා ආර්ථික කතිකාවන් පිළිබඳ රට පුරා නැගෙන කතාබහ බොහොමයකි. එක්සත් ජාතික පක්ෂයේ එක්සත් නායකත්ව මණ්ඩල සභික සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා සමග ඒ පිළිබඳ සිදුකළ සාකච්ඡාවකි මේ.

ප්‍ර : එක්සත් නායකත්ව මණ්ඩලයේ වර්තමාන තත්ත්වය පිළිබඳ ඔබෙන් පළමුව දැන ගන්න කැමතියි?
පි : නායකත්ව මණ්ඩලය පිහිටුවා තවමත් සති කිහිපයක් පමණයි ගත වී තිබෙන්නෙ. මුලින් පැවැත්වූ සාකච්ඡාවලට වඩා නව උදේ‍යා්ගයකින් යුතුව එහි කටයුතු කෙරෙනවා. පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් වඩාත් හොඳ සාමුහික තීන්දු ගන්නවා. ඒ විදියට කටයුතු කරගෙන යන නිසා ජනතාව අතරෙනුත් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ නිසා නායකත්ව මණ්ඩලය පිළිබඳ තිබූ සැක සංකා අවසන් වී තිබෙනවා. නායකත්ව මණ්ඩලයට බලය ලැබි තිබෙනවා. එම බලය පක්ෂ සම්මේලනයේ අනුමැතියට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමෙන් පසුව අපට තවත් වැදගත් පියවර රැසක් ඉදිරියට තබන්න පුළුවන්.

ප්‍ර : නමුත් සජිත් ප්‍රේමදාස මහතා සහභාගි නොවීමෙන් නායකත්ව මණ්ඩලය අර්බුදයකට පත්වී ඇති බවට තිබෙන ආරංචි බැහැර කළ හැකිද?
පි : නෑ. කිසිම අර්බුදයක් ප්‍රශ්නයක් නැහැ. නායකත්ව මණ්ඩලයට පත් කළ 9 දෙනාගෙන් 7 දෙනෙක් එය පිළිගෙන තිබෙනවා. නමුත් 9 දෙනාම එකට ඉන්නව නම් ගොඩක් හොඳයි. සියයට 95 කටත් වැඩිය පිළිගෙන තිබෙන දෙයක් එක්කෙනෙක් දෙන්නෙකුට පිළිගන්න බැරිනම් ඊට තිබෙන බාධකය කුමක්ද කියල අහන්න මම කැමැතියි. අප සියලු දෙනා අතට බලය ලබාදී ඇති අවස්ථාවක ජයග්‍රහණයක් ඇති කිරීමට කිසියම් විදියකින් හෝ බාධා කිරීම අසාධාරණයි. ඒ සුළු පිරිසත් අපේ පැත්තට ගෙන්වා ගැනීම අපේ උත්සාහයයි. ඒ සඳහා නම්‍යශීලීව කටයුතු කරගෙන යනවා. ඒ නිසා ඒ අයත් සත්‍යය තේරුම් ගෙන වැඩිකල් නොගොස් නායකත්ව මණ්ඩලයට පැමිණේවි. නමුත් ඒ දක්වා මීට හානි නොවන ලෙස කටයුතු කිරීමට ඒ අයට යුතුකමක් වගකීමක් තිබෙනවා.

ප්‍ර : ඔබ එසේ ප්‍රකාශ කළත් නායකත්ව මණ්ඩලයට පූර්ණ බලතල නොමැති නිසා ඉන් ප්‍රයෝජනවත් යමක් සිදු නොවන බව සජිත් ප්‍රේමදාස මහතා එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමකදී ප්‍රකාශ කළ බව ආරංචියි.?
පි : මේක රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස හා කරු ජයසූරිය අතර ඇති වූ කතා බහක් නිසා හටගත් දෙයක්. ඉතිං ඒ අය අතර ඇති වූ කතා බහ ගැන මගෙන් අහන්න එපා. ගිරාඹේ ආනන්ද අනුනායක ස්වාමින් වහන්සේ, සිරිසේන කුරේ ඇතුළු පිරිස විසින් මේ නායකත්ව මණ්ඩලයේ අනිවාර්යයෙන් සිටිය යුතු තුන්දෙනෙක් නම් කළා. කරු, සජිත්, රවි ඒ තුන්දෙනයි. ඒ නිසා ඒ අය සකස් කළ දේට ඊළඟට මොකද්ද කරන්න ඕන කියලත් ඒ අය දැන ගත යුතුයි.

ප්‍ර : එක්සත් නායකත්ව මණ්ඩලය සජිත් ප්‍රේමදාස මහතා නැතිව වුවත් ඉදිරියට ගෙන යා යුතු බවට පසුගිය කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී අදහසක් ඉදිරිපත් වී තිබෙනවා නේද?
පි : ඔව්. ඒ වගේ මත ගණනාවක් තිබුණා. නමුත් මං හිතන්නේ වඩා හොඳ අපි ඔක්කොම එකට සිටීමයි. වැඩි පිරිස සමග ඉදිරියට යා යුතුයි.

ප්‍ර : නායකත්ව මණ්ඩලය විසින් පක්ෂයේ එතෙක් පැවති විනය පරික්ෂණ නතර කොට තිබුණත් යළි එම විනය පරික්ෂණ පැවැත්වීමට හදිස්සියේ තීරණය කොට ඇති බව කියැවෙනවා. මේක පක්ෂයේ ඉදිරි ගමනට බාධාවක් නේද?
පි : ඒක මෙහෙමයි සිදුවුණේ. අපි ඒ විනය පරික්ෂණ නතර කළ බව ඇත්ත. නමුත් එලෙස සමාව ලබාදුන් අය යළිත් පක්ෂයට හානිකර ප්‍රකාශ සිදුකරන බවට වාර්තා වුණා. එවැනි තත්ත්වයක් නිරන්තරයෙන් ඇති වෙන්න දෙන්න බැහැ. පක්ෂයට විනයක් අවශ්‍යයි. දැන් බලන්න, පළාත් පාලන ආයතනවල අයවැයට විරුද්ධව ඡන්දය ලබාදුන් අය පක්ෂයෙන් පලවා හැරීමට ආණ්ඩුව තීරණය කොට තිබෙනවා. ඉතිං ආණ්ඩුව එහෙම කරන අතර අපි එවැනි ක්‍රියා මාර්ගයක් ගන්න විට අධිකරණයට ගොස් අප හිරකරනවා. අර්ල් ගුණසේකර, ලක්ෂ්මන් සෙනෙවිරත්න, මනූෂ නානායක්කාර ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලලා දිනලා දැන් ආණ්ඩුවේ ඇමැතිකම් අරගෙන සිටිනවා. අපේ කෙනෙක් ගියොත් ප්‍රශ්නයක් නැහැ. එහෙන් අයෙක් ගියොත් අස් කරනවා.

ප්‍ර : ආණ්ඩුවේ පළාත් පාලන ආයතන රැසක් දිගින් දිගටම පරාජය වීම ගැන ඔබේ අදහස දැනගන්න කැමතියි?
පි : ඒක විපක්ෂය ජයග්‍රහණයට ගමන් කිරීමක්.

ප්‍ර : ඇයි එවැනි ප්‍රශ්නයක් පිළිබඳ සරල ලෙස හිතෙන්නෙ?
පි : හෘද සාක්ෂිය තිබෙන මන්ත්‍රීවරු අයවැය පරාජය කරනවා. නමුත් තවමත් පාර්ලිමේන්තුවේ සිටින ආණ්ඩු පක්ෂයේ  මන්ත්‍රීවරුන්ට හෘදසාක්ෂියට එකඟව තීරණයක් ගැනීමට නොහැකි වී තිබෙනවා. අයවැයට රහස් ඡන්දයක් පැවැත්වූවා නම් ඔය ප්‍රතිඵලය වෙනස් වෙනවා. මොකද පාර්ලිමේන්තුව ඇතුළෙදි මොන දේ ප්‍රකාශ කළත් මේ අයවැය ගැන ඇමැතිවරු මන්ත්‍රීවරු කියන දේවල් අපි හොඳටම දන්නවා.

ප්‍ර : විපක්ෂය අයවැයේ යහපත් ලක්ෂණ නොදැක සාම්ප්‍රදායික ලෙස අයවැයට විරුද්ධ වන බවයි ආණ්ඩුවේ අදහස.
පි : මේ අයවැයේ තිබෙන හොඳ මොකක්ද කියලා ආණ්ඩුවට කියන්න පුළුවන්ද? ආණ්ඩුව සමග සිටින ව්‍යාපාරිකයින් කිහිප දෙනකුටත්, ආණ්ඩුවේ මැති ඇමැතිවරු පිරිසකටත් හැර මේකෙ තිබෙන හොඳ මොකක්ද? නමුත් රටක අයවැයකින් ප්‍රකාශ කළ යුත්තේ කෙටි හා දීර්ඝකාලීන ඉලක්ක පිළිබඳවයි. ජනතාවට සහන ලබා දෙමින් ඔවුන් නගා සිටුවීම ගැනයි. එවැනි දෙයක් මේ අයවැයේ තිබෙනවා නම් පෙන්වන්න කියලා ආණ්ඩුවට කියන්න. මොනවටද බදු සහන දුන්නෙ. ආණ්ඩුව කියන බදු සහන මොනවාද? නමුත් රාජ්‍ය සේවකයින්ට රුපියල් 1200 ක දීමනාවක් ලබාදෙන කොට රුපියල් 2500 කින් වියදම වැඩි වෙලා. සියලුම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ඉහළ දැමීම නිසා ජනතාවට තුන් වේල කන්න බැහැ. රුපියල් කෝටි 1200 ක් උපයාගන්න. එම වෙළෙඳ බද්ද පැනෙව්වා. ඉතිං ආණ්ඩුවේ බදු සහනවල යථාර්ථය ඒකයි.

ප්‍ර : ණය ප්‍රතිශතය අඩුවන බවත් ආර්ථික වර්ධන වේගය වැඩි වන බවත් අය-වැය ‍ලේඛනයෙන් ඔප්පු කොට තිබෙනවා. ඒ අනුව එජාපය නගන චෝදනා සාවද්‍ය නොවේද?
පි : ජනතාවගේ ණය දවසින් දවස වැඩි වෙනවා. දළ දේශීය නිෂ්පාදනයෙන් ආදායම ශීඝ්‍ර ලෙස අඩු වෙලා තිබෙනවා. එහෙම අඩුවන විට ගෙවීමේ ප්‍රශ්නයක් ඇති වෙනවා. ආර්ථිකය වර්ධනය වෙනවා. නම් ඒ ප්‍රතිලාභ ජනතාවට ලැබිය යුතුයි. එවැනි ප්‍රතිලාභ ජනතාවට නැහැ. ආණ්ඩුව රාජ්‍ය බැංකු මගින් ඩොලර් මිලියන ගණන් විදේශ ණය ගන්නවා. ඒවා ඔය කියන ණයට එකතු කරන්නේ නැහැ. ඒ නිසා ඔය සංඛ්‍යා ‍ලේඛන පුස්සක් විතරයි.

ප්‍ර : අයවැයට විරුද්ධව අත එසවූ පමණින් අයවැය පිළිබඳ එජාප අදහස් ජනතාව අතරට යනවාද?
පි : නැහැ. අපි පාරට බැසිය යුතුයි.

ප්‍ර : ඒ සඳහා වැඩපිළිවෙළක් තිබෙනවාද?
පි : ඔව්. තිබෙනවා. ජනවාරියේ සිට අපි එය නව ජවයකින් පටන් ගන්නවා.

ප්‍ර : තවත් දින කිහිපයකින් මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඔබත් ඒ සමග ආණ්ඩුවට එක්වන බවට ආරංචි පැතිරෙනවා?
පි : ඔය පැතිරෙන්නේ ආණ්ඩුවේ සහ විපක්ෂයේ එක් කෙනෙක් දෙන්නෙක් කියන කතායි. ඕවට උත්තර දෙන්න කාලය නාස්ති කළ යුතු නැහැ.

ප්‍ර : ඔබ බස්නාහිර පළාත් සභාවට තරග කිරීමට සූදානම් බව ප්‍රකාශ කළේ ඇයි?
පි : චන්ද්‍රිකා බණ්ඩාරනායක 1993 දී බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කොට පෙන්නුවා. දයාසිරි ජයසේකර වයඹ ජයග්‍රහණයකොට පෙන්නුවා. එහෙනං ඔය තමන් ආවොත් ජයග්‍රහණය කරන්න පුළුවන් කියන සජිත් ප්‍රේමදාසටත් දැන් අවස්ථාව තිබෙනවා. පක්ෂය වෙනුවෙන් සැබෑ ලෙසම කැපවෙනවා නම් දැන් අවස්ථාව එළඹී තිබෙනවා. ජනමතය පෙන්වන්න දැන් පුළුවන්. ඒ නිසා මම යෝජනා කරන්නේ සජිත් දකුණෙනුත්, බස්නාහිරින් මමත් පළාත් සභා මැතිවරණයට තරග කරන්න අවශ්‍ය බවයි. අපි දෙන්නම ඉහළ තනතුරු බලාගෙන ඉන්න පුද්ගලයෝ. දිනන්න ඕන නම් කැපවීමක් කරමු. කාටවත් එන්න කියන්න අවශ්‍ය නැහැ. අපි දෙන්න ඉදිරිපත් වෙමු.

ප්‍ර : ඔබ බස්නාහිරට තරග කරන්නෙ සජිත් ප්‍රේමදාස මහතා දකුණට තරග කළොත් පමණක්ද?
පි : එහි වගකීම එයා බාරගත යුතුයි. මං ඒකට පිළිතුරු දෙන්න වැඩක් නැහැ. එයා කියනවනෙ එයා ආවොත් දිනනව කියලා. ඉතිං එහෙනං වැඩ කරලා දිනමු කියලයි මම කියන්නේ.

ප්‍ර : එජාපය ජාතික මැතිවරණයක් ඉල්ලා සිටියත් ඒ සඳහා සූදානමක් නැති බවට පක්ෂය තුළින්ම නැගෙන විවේචන ප්‍රබලයි නේද?
පි : ආණ්ඩුවේ සිටින අය තමන්ට ප්‍රශ්න තිබෙන නිසා හැම වෙලාවේම විපක්ෂය ප්‍රශ්න කරනවා. ආණ්ඩුවේ වැඩේ ආණ්ඩුව කරනවා නම් අපි අපේ වැඩේ කරනවා. විපක්ෂය මොකුත් නොකරන බව මෛත්‍රිපාලලා, ජෝන් සෙනෙවිරත්නලා, නිමල් සිරිපාලලා කියනවා. අපි කියන්නේ ආණ්ඩුව මොකුත් කරන්නේ නැහැ කියලයි. අපි ආණ්ඩුවට ගිහිල්ලා ඒ අය විපක්ෂයට ආව නම් ප්‍රශ්නයක් නැහැ.

ප්‍ර : අගමැතිවරයාගේ ‍ලේකම්වරයකු සම්බන්ධව කුඩු චෝදනාව නිසා එජාපය මත දෙකකට බෙදී ඇති බවට මාධ්‍ය වාර්තා පළ වෙනවා. ඔබ සිටින්නේ කුමන මතයේද?
පි : ආණ්ඩුවට මිසක් අපට අගමැති කෙනෙක් නැහැ. ආණ්ඩුවේ තිබෙන ප්‍රශ්නයක් අපි අපේ කරගන්නේ නැහැ. විපක්ෂයට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අගමැතිගේ තනතුර පාවිච්චි කරමින් කුඩු ව්‍යාපාර කරන බව පෙනෙනවා. ඇයි කුඩු ව්‍යාපාර නවත්වන්නේ නැත්තේ? ඒ නිසා ආණ්ඩුවේ ප්‍රශ්න වසා ගන්න විපක්ෂයට අවලාද නගලා වැඩක් නැහැ.

ප්‍ර : ජාතික ගීය සිංහලෙන් ගායනා කරනවා නම් උතුරට ජාතික ගීය අනවශ්‍ය බවට ද්‍රවිඩ ජාතික සන්ධානය කරන ප්‍රකාශය සම්බන්ධවත් එජාපයේ ස්ථාවරය දැනගන්න කැමතියි.
පි : ජාතික ගීය මේ රටේ ව්‍යවස්ථාවෙන්ම පිළිගෙන තිබෙනවා. ඒ තත්ත්වය වෙනස් වෙන තාක් කල් ඒක පිළිගන්න ඕන. සියලු දෙනාම එකතු වෙලා භාෂා දහයකින් දොළහකින් ‍නෙවෙයි චීන භාෂාවෙනුත් කියන්න ඕන කියලා කියනවා නම් ඒක වෙනම දෙයක්. ඒ නිසා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනවා මිසක් ඒකට ඇඟිලි ගැසීම සුදුසු නැහැ.