You are here:: News Center Related News අයවැයෙන් යෝජනා කළ භාණ්ඩ මිල පහත දැමීම එදින සිටම ක්‍රියාත්මකයි - මුදල් ඇමති
 
 

අයවැයෙන් යෝජනා කළ භාණ්ඩ මිල පහත දැමීම එදින සිටම ක්‍රියාත්මකයි - මුදල් ඇමති

AddThis Social Bookmark Button

11111111111front new 1අයවැය ඉදිරිපත් කළ පසුගිය 20 දා මධ්‍යම රාත්‍රියේ සිට අයවැයෙන් යෝජනා කළ භාණ්ඩ මිල අඩු කිරීම ක්‍රියාත්මක කරන්න කටයුතු කර තිබෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (22) ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ මට්ටක්කුලිය ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

අයවැය යෝජනාවලිය සම්මත වීමටත් පෙර, අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල පහත දැමීමට අපි කටයුතු කරල තිබෙන බවත් භූමි තෙල් බෝතලයේ සිට ගෑස් සිලින්ඩරය දක්වා මේ මිල අඩුවීම සිදු වෙලා තිබෙන අතර ඇතැම් දේශපාලනඥයන් අයවැය තේරුණේ නැති බව පවසන නමුත් මේ රටේ සාමාන්‍ය ජනතාවට ගෙවී ගිය දින කිහිපය තුළ අයවැයෙන් මොනව ද තමන්ට ලැබුණෙ කියා දැනගෙන තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.


 
2016 අයවැය මගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල පහත හෙළීම ඇතැම් දේශපාලනඥයන්ට නොදැනුණ ද මෙරට සාමාන්‍ය ජනතාවට දැනෙන වෙනසක් බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා කුමන පාර්ශ්වයන් චෝදනා එල්ල කළ ද මෙවර අයවැය මගින් සාමාන්‍ය ජනතාවට සහන ලැබී ඇති බව ද සඳහන් කළේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය රවී කරුණානායක මහතා,

“ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සුවිශේෂී නවීකරණයකට ලක්විය යුතුයි. ඒ නිසා තමයි මෙවර අයවැයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරල තියෙන්නෙ. ලංගමය කඩාවැටිල තියෙන්නේ. මෙතෙක් කල් සිදුවුණේ ගැටලුවලට පැලැස්තර විසදුම් ලබාදීමයි. ඒ විදියට තවදුරටත් ඉස්සරහට යන්න බෑ.

වාර්ෂිකව රුපියල් මිලියන 4500ක් විතර අලාභයක් ඇතිව තමයි අපි මේක පවත්වාගෙන යන්නේ. ඒ නිසා අප කළ යුත්තේ ඒ අලාභය අවම කරගනිමින් ලංගමය නවීකරණයට ලක් කිරීමයි. අපි මගී ජනතාවගේ පැත්තෙ ඉඳගෙන අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුයි.

මේ කුමන නවීකරණය සිදුවුණත් එය ලංගම සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවයට කිසිදු ගැටළුවක් වෙන්නේ නෑ.

ඇතැම් වෘත්තීය සමිති චෝදනා කරනවා ශ්‍රී ලංගමය විනාශ කරන්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා කියල. ආයෙත් මේකෙ විනාශ කරන්න දෙයක් නෑ. හිටපු පාලකයන් මේක විනාශ කරල තිබුණෙ. යළි ගොඩනැගීම තමයි කළ යුත්තේ. ඒ සඳහා තමයි අපි මේ උත්සහ දරමින් ඉන්නෙ. මෙවර අයවැය ගැන ඇතැම් පාර්ශ්වයන් වැරැදි අදහස් පළ කරන්න කළ උත්සහය මේ වෙන විට ව්‍යර්ථ වෙලා තියෙනවා. බදු පිට බදු ගහන, සාමාන්‍ය ජනතාව මත බර පටවන අයවැයක් වෙයි කියල තමයි ඔවුන් කියා සිටියේ. ඒත් ඊට හාත්පසින්ම වෙනස් අයවැයක් තමයි ඉදිරිපත් වුණේ. ”යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක් ව සිටියහ.