You are here:: News Center Related News අය-වැය අදාළ කරගෙන මුදල් ඇමැතිට විශ්වාසභංග බෑ
 
 

අය-වැය අදාළ කරගෙන මුදල් ඇමැතිට විශ්වාසභංග බෑ

AddThis Social Bookmark Button

Ranil-Latest3ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ස්ථාවර නියෝගවලට අනුව අයවැය අදාළ කරගනිමින් මුදල් ඇමැතිවරයාට විශ්වාසභංගයක් ගෙන ආ නොහැකි බවත් විශ්වාසභංග යෝජනාවක් නොව ඒ සම්බන්ධයෙන් තේරිම් කාරක සභාවක් පත් කර සාකච්ඡා කළ හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (15)ප්‍රකාශ කෙළේය. තේරීම්කාරක සභාවක් පත් කිරීමට සූදානම් බවත් තේරීම් කාරක සභාවක් පත්කර එය ලබා දෙන වාර්තාව අනුව තීරණයක් ගත හැකි බවත්අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අය-වැය යනු ආණ්ඩුවේ ලියවිල්ලක් මිස මුදල් ඇමතිවරයා වන රවි කරුණානායක මහතාට අයත් දෙයක් නොවන බවත් අගමැතිවරයා පැවැසීය.

අයවැය තුනෙන් දෙකකින් සම්මත වූවාට පසුව ඊට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආ නොහැකි බවත් ඒ වෙනුවෙන් තේරිම් කාරක සභාවක් පත්කර අදාළ යෝජනාවේ අන්තර්ගතය පිළිබඳව සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹිය හැකි බවද අගමැතිවරයා පැවසීය.

අගමැතිවරයා මේ බව සඳහන් කෙළේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඊයේ (15)මතුකළ, මුදල් ඇමතිවරයාට එරෙහිව ලබාදී ඇති විශ්වාසභංග යෝජනාවට දිනයක් ලබා නොදීම සම්බන්ධයෙන් කතානායකවරයගෙන් විමසා අවස්ථාවේ දී ඊට අදහස් දක්වමිනි.

වාසුදේව නානායක්කාර මහතා - කතානායක තුමනි මුදල් ඇමැතිවරයාට එරෙහිව ලබා දී ඇති විශ්වාස භංග යෝජනාවට තවමත් දිනයක් ලබා දී නැහැ.

සභානයක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - අයවැයට තුනෙන් දෙකක ඡන්දයක් ලැබී තිබෙනවා.ඒ නිසා මෙයට විශ්වාසභංගයක් ගෙන ඒම විහිළුවක්.මේ විශ්වාසභංගයට හිටපු ජනාධිපතිතුමා අත්සන් කරලත් නෑ.

කතානායක කරූ ජයසූරිය මහතා- ලබන වසරේ පාර්ලිමේන්තුව රැස් උනාම ඒ ගැන කියන්නම්.ඊයේත් මේ ගැන පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡා වුණා. එහිදි ලබන වසරේ දී මේ ගැන සාකච්ඡා කරන්න එකඟ වුණා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා

අයවැය හා විශ්වසභංගය එකට සළකා බලන්න බෑ. මුදල් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගන්නට බෑ කියන එක එයින් හැඟෙන්නේ නැහැ..අයවැය සම්මත වූ පමණින් අර්ථකතනය වන්නේ නෑ මුදල් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ නොහැකි බව.

කතානායක කරූ ජයසූරිය මහතා- මේ ගැන ඉදිරියේ දී සාකච්ඡා කරනවා

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව යටතේ අයවැය කියන්නෙ ආණ්ඩුව කෙරෙහි තිබෙන විශ්වාසය ප්‍රකාශ කිරීමක්. එය පරාජය වුවහොත් කැබිනට් මණ්ඩලයත් අගමැතිවරයාත් ඉල්ලා අස්වෙන්න අවශ්‍යයි. ඒ පිළිබඳව මූලික සිද්ධාන්ත දෙකක් තිබෙනවා.ව්‍යවස්ථාවට අනුව කැබිනට් මණ්ඩලය සාමූහිකව වගකියන්න ඕන.අනෙක ව්‍යවස්ථාවට අනුව පොදු මුදල් පාලනය පැවරී තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි.මුදල් ඇමැතිවරයා අයවැය යෝජනාව ඉදිරිපත් කළාම ආණ්ඩුවට වේලාව තිබෙනවා, සංශෝධන ගැන තීරණය කරන්න. පසුව පක්ෂ විපක්ෂව ඡන්දය දෙන්න පුළුවන්. ඒත් අයවැය සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයාට එරෙහිව යෝජනාවක් ගේන්න බෑ.ව්‍යවස්ථාවට ගරු කර ඒ ව්‍යවස්ථාව අනුවයි කටයුතු කරන්නේ.අයවැය ආණ්ඩුවේ කොටසක්.අයවැය රවී කරුණානයක ඇමතිවරයා‍ගේ නොවේ. එය තුනෙන් දෙකකින් අනුමත කළාම කොහොමද විවාදයක් තියන්නේ.විශ්වසභංගයක් නොවේ එයට තේරිම්කාරක සභාවක් පත් කරලා,වාර්තාවක් ලබාදෙන්න කියල කියමු. වැරදි නම් ඒ ගැන තීරණයක් ගමු. අපි ලෑස්තියි තේරිම් කාරක සභාවකට. කවුද නිදහස් අධ්‍යපනය කැපුවේ ,කව්ද නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කළේ මේ සියල්ල ගැන අපි කතා කරමු.වැරදි නම් ඒ පුද්ගලයා එය භාරගත යුතුයි.කවුද හරි කව්ද වැරදි කියල අපි සොයමු.හිටපු ජනාධිපති තුමා වැරදි නම් එතුමාත් ඉල්ලා අස්විය යුතුයි.ඔබතුමා මේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන්නට කැමතිද

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා - දිවයින පුරා පවතින පාසල් වල ගොඩනැඟිලි හා ඉඩම් අධ්‍යාපනයට සිදුකරන වෙන්කිරීම් ලෙස දක්වන්නේ කොහොමද?.එය වෙන්නේ කොහොමද කියා දැනගන්න ඕන.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා - පසුගිය රජයයට යටතේ උතුරු පළාතේ අධ්‍යාපනය අවශ්‍ය මුදල් ලබාදුන්නද කියලා අහනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා - පක්ෂ නායක රැස්වීමේදී අපි ඊයේ දිනයක් ඉල්ලා සිටියා.ජනවාරි මාසයේ රැස්වෙලා දිනයක් නියම කරනව කිය එකඟතාවකට ආවා. විශ්වාසභංගයකට අපට දිනයක් අවශ්‍යයි.

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා - අයවැයේ අන්තර්ගත කරුණු පදනම් කර‍ගෙන විශ්වාසභංගය ගෙනවිත් තිබෙන්නේ.නමුත් අයවැයට තුනෙන් දෙකක ඡන්දයක් ලැබුණා. එවිට ඒ විශ්වාසභංගය බලශූන්‍යයි.