You are here:: News Center Related News ආර්ථිකය දැන් යන්නෙ සක්‌විති මොඩල් එකට-එජාපය
 
 

ආර්ථිකය දැන් යන්නෙ සක්‌විති මොඩල් එකට-එජාපය

AddThis Social Bookmark Button
UNP_new_lgo2මූල්‍ය අක්‍රමිකතා ඇතුළු විවිධ දූෂණ චෝදනා එල්ල වුවද පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ආණ්‌ඩුව විශිෂ්ට ජයක්‌ අත්පත් කර ගත්තේය. නමුත් ජනතාව ආණ්‌ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ අනුමත කර ඇත්තේ එම චෝදනා පිළිබඳ අවබෝධයකින් නොවන බව ආචාර්ය හර්ෂ ද සිල්වාගේ අදහසයි. ආණ්‌ඩුවේ සංවර්ධන ක්‍රියාදාමය උතුරේ ජනතාව මුළුමනින්ම බැහැර කර ඇති බව පවසන ආචාර්ය හර්ෂ ආණ්‌ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ පළ කළ අදහස්‌ කිහිපයකි මේ.පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ආණ්‌ඩුව විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලැබුව. ආණ්‌ඩුව මේ ජයග්‍රහණය ලබාගත්තෙ හෙජින් ගිවිසුම, බාල පෙට්‍රල් ප්‍රශ්නය සහ විදුලිබල අර්බුදයක්‌ හරහා බරපතළ මූල්‍ය චෝදනා ආණ්‌ඩුවට එල්ල වෙමින් තිබියදීයි. ජනතාව මේ චෝදනා ගැන තැකීමක්‌ කළේ නැද්ද? මොකක්‌ද වුණේ?

අපේ ජනතාව බුද්ධිමත් නෑ කියල මම කියන්නෙ නෑ. පොදු පෙරමුණ ජනතාවට දෙන පණිවිඩයක්‌ තියෙනවා. එජාපයත් ජනතාවට දෙන පණිවිඩයක්‌ තිබෙනවා. මේ පණිවිඩ දෙක එකිනෙකට පරස්‌පරයි. ජනතාව එජාප පණිවිඩය එහි සත්‍යතාව හඳුනගෙන එය පිළිගන්නවා. නමුත් පොදු පෙරමුණේ පණිවිඩයට පක්‍ෂපාත වෙනවා. පොදු පෙරමුණ කියන්නෙ ත්‍රස්‌තවාදය පරදවල බේරගත්ත රට කාටවත් ඇඟිලි ගහන්න ඉඩ නොදී ඉදිරියට ගෙනියනව කියලා. ජනතාවට ඒ පණිවුඩය විශ්වාස කරන්න ප්‍රධාන හේතුව ජනාධිපතිතුමා ලබාගත් යුද ජයග්‍රහණය.

එජාපය කියන්නෙ අපි කාටත් අයිති මේ රටේ තිරසාර සාමයක්‌ ඇතිකරන්න නම් රටේ ජීවත්වන සියලු දෙනාගෙම අයිතීන් සලකා බලන්න ඕන සහ ගෝලීය ආර්ථිකය තුළ රට දියුණු කරන ක්‍රමවේදයක්‌ සකස්‌ කරන්න ඕන කියලයි. එජාපය කියන මේ පණිවිඩය විශ්වාස කරන්නත් ජනතාවට හේතු සාධක තියෙනවා. එජාපය සියලු ජාතීන්ට අයිති පක්‍ෂයක්‌. අපේ තිබුණු සංවෘත්ත ආර්ථිකය 77 දී ගෝලීය විවෘත ආර්ථිකයකට ගෙනැල්ල අද තියෙන මේ සියලු ආර්ථික වර්ධනයන් ජනතාවට ලබාදුන්නෙ එජාපයයි. ජනතාව මේ කාරණෙත් දන්නව. නමුත් මේ මැතිවරණෙදි වුණේ ආණ්‌ඩුව තමුන්ගෙ පණිවිඩේට බොරු විදේශ බලපෑමකුත් එක්‌කාසු කරලා විකෘති කරල සියලු මාධ්‍ය හරහා ජනතාව මත පටවපු එකයි. ආණ්‌ඩුව මේ ගේම ගැහුවෙ එහෙමයි. රනිල් වික්‍රමසිංහ මහතා එදා අත්සන් කළ ගිවිසුම නිසා ජනාධිපතිතුමාවත් ගෝඨාභය මහත්තයවත් වෙන නිලධාරියෙක්‌වත් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනියන්න බෑ. නමුත් මේ ආණ්‌ඩුව ඒව ජනතාවට අඟවන්නෙවත් නෑ. ඉතාමත්ම සදාචාර විරෝධී විදිහට දේශෙද්‍රdaහී ලේබලය එජාපෙට අලවල තමයි මේ වැඩේ කළේ. මේ රට ගිලගන්න විදේශ ගෝනි බිල්ලෙක්‌ ඉන්නවයි කියල ජනතාවට පෙන්නල තමයි ආණ්‌ඩුව මේ මැතිවරණය දිනුවෙ.

මේ ආණ්‌ඩුවේ විවිධ ආයතනවලට මූල්‍ය පාලනය පිළිබඳ චෝදනා එල්ල වී තිබෙනවා. රටේ මූල්‍ය පරිපාලනය පිළිබඳ සමස්‌ත වගකීම දරන විගණකාධිපති තනතුරටත් දැන් කාලයක සිට පුද්ගලයකු පත්කර නෑ. රටේ ආර්ථිකයෙ ඉදිරි ගමනට මේ තත්ත්වය බලපාන්නෙ කොහොමද?

මහා විශාල පරිවර්තනයක්‌ දැවැන්ත සංවර්ධනයක්‌ කියල මේ ආණ්‌ඩුව උතුරෙ කරපු දේවල් ඒ ජනතාව ප්‍රතික්‌ෂේප කළානෙ. මේ මැතිවරණ ප්‍රතිඵලෙන් ඒක පැහැදිලියි. උතුරෙ ප්‍රශ්නෙට තිරසාර විසඳුමක්‌ නොදී රටේ තිරසාර සංවර්ධනයක්‌ ඇතිකරන්න බෑ. මේ ආණ්‌ඩුව දේශීය වශයෙන් රට සංවර්ධනය කරනව කියල මේ කරන්නෙ ලොකු බොරුවක්‌. නැව් එන්න බැරි වරායවල් හදනව. ප්ලේන් ගොඩබාන්න බැරි ගුවන් තොටුපොළවල් හදනව. ක්‍රිකට්‌ ගහන්න බැරි ක්‍රීඩාංගණ හදනව. දැන් අලුතෙන්ම හදන්න යන්නෙ පොදුරාජ්‍ය උළෙට ක්‍රීඩාංගණයක්‌. ග්‍රීසිය ඕක කරන්න ගිහින් හොම්බෙන් ගියා. ඉන්දියාවෙ ඔය ක්‍රීඩා උළෙල කරල මහා පරිමාණ දූෂණ සිදුවුණා. අපේ රටේ මිලියන තුනෙන් හදන්න පුළුවන් ක්‍රිකට්‌ ක්‍රීඩාංගන හදන්න මිලියන හතක්‌ වියදම් වෙලා. වැඩබලන විගණකාධිපති තමයි මේව කියන්නෙ. මේ ආණ්‌ඩුව සංවර්ධනය කියන වචනෙට මුවාවෙලා කරන්නෙ ගිනි පොළියට ණය අරන් අනවශ්‍ය වැඩ කරන එකයි. මේ ගන්න ණය ගෙවා ගන්න ක්‍රමවේදයක්‌ නෑ. දැන් ආර්ථික ඝාතකයො හොයනව. මෙන්න මේව තමයි ආර්ථික ඝාතකයන්ගෙ වැඩ.

හම්බන්තොට වරාය හදන්න මේ ආණ්‌ඩුව චීනෙන් මිලියන 307 ක ණයක්‌ ගත්තා. මේ වරාය හදද්දි මතුවුණු විශාල ගල කඩන්න සහ ඒ ආශ්‍රිත කටයුතුවලට තව මිලියන 148 ක්‌ ගත්තා. මුලින් මිලියන 307 චීනෙන් ගන්න කොට එකඟවුණු කොන්දේසියෙ හැටියට ප්‍රියත් බන්දු මහත්තය කිව්වෙ සාමාන්‍ය පොලී අනුපාත දර්ශකයට (බෙන්ච් මාර්ක්‌) සියයට දශම නවයක්‌ එකතු කරලා මේ ණය ලබා ගන්න එකඟ වුණා කියලා. මේ අවුරුද්දෙ අන්තිම වෙනකොට ඔය ණය ගෙවන්න පටන් ගන්නවා. අද වන විට ඒ පොලී අනුපාත දර්ශකය දශම හතරයි තුනයි. දශම නවයත් ඒකට එකතුවුණාම එකයි දශම තුනයි. ඒ තමයි මේ ණය මුදලට මුලින් එකඟ වූ පොලිය. නමුත් මොනයම් හේතුවක්‌ නිසා හෝ ඒක එපා කියලා 6.3 ක ස්‌ථිර පොලියකට මේ ණය ගන්න එකඟ වෙලා තියෙනවා තව විවිධ ගෙවීම් තියෙනව ඒව හැරුනාම මේ ප්‍රධාන ගෙවීම ගැනයි මේ කියන්නෙ. මුලින් ක්‍රමයට එකඟ වුණා නම් අද ගෙවන්න වෙන්නෙ පොලිය සියයට 1.3 යි. දැන් සියයට 6.3 යි. එනම් මුල් එකඟතාවට වඩා පස්‌ ගුණයක්‌ වැඩි පොලියකටයි මේ ණය අරන් තියෙන්නෙ. හෙජින් මොකක්‌ද මේක දිහා බලනකොට.

ඔය කාලෙම ඔය වගේම ණයක්‌ අපිත් ගත්ත ඒ. ඩී. බී. එකෙන්. කොළඹ වරාය සංවර්ධනයට. ඒක ගත්තෙ ඔය පොලී අනුපාත දර්ශකයට සියයට හයක්‌ එකතු කරලා. ඒක ගෙවන්න වෙන්නෙ සියයට 1.1 ක පොලියක්‌. විනිවිද භාවයකින් යුතුව ටෙන්ඩර් කතාකරල එය ලෝකයේ පිළිගත් ක්‍රමවේදයට අනුව ගත්තු ණයක්‌. ඒකට සියයට 1.1 ක පොලිsයට ණය දුන්නා. විනිවිද භාවයක්‌ නැති ටෙන්ඩර් කැඳවීමක්‌ නැති අපි කිසිවක්‌ දන්නෙ නැති චීන්නුන්ට සියයට 6 ට ණය දුන්න. මේ ආණ්‌ඩුවෙ මූල්‍ය කළමනාකරණය ගැන මීට වඩා දෙයක්‌ කියන්න ඕන නෑ. මම ආණ්‌ඩුවට අභියෝග කරනව හෙජින් එකට නඩු දාල නැවැත්තුව වගේ මේකටත් නඩු දාල නවත්වන්න කියලා.

අපේ රටේ දුම්රිය මාර්ගයේ කිලෝමීටරයක්‌ අපේ රටේ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හදන්න වැය වෙන්නෙ ඇමරිකන් ඩොලර් මිලියන දශම හතරයි. චීන්නු එක හදන්නෙ ඇමරිකන් ඩොලර් මිලියන හතරකට. දහ ගුණයක්‌ මිල වැඩියි. පොලිය පස්‌ ගුණයකින් වැඩියි. ක්‍රිකට්‌ ස්‌ටේඩියම් දෙගුණයක්‌ මිල වැඩියි. මේ තිරසාර සංවර්ධනයක්‌ද? මිනිස්‌සුන්ට දැනෙන සංවර්ධනයක්‌ද?

ලෝකෙ රටවල්වල කෝටිපතියො වර්ධනය වෙන වේගයක්‌ තියෙනවා. රටේ කෝටිපතියො වර්ධනය වන වේගය අනුව අපේ රට ආසියාවෙ හය වැනි තැන. ඒ අතින් අපි සිංගප්පූරුවත්, තායිලන්තයත් පහුකරලා ඇවිත් තියෙනවා. මෙහෙම එකපාරටම අපේ රටෙන් කෝටිපතියො බිහිවෙන්නෙ කොහොමද? මෙන්න ආර්ථික ඝාතකයො. මේක තවම අපේ රටේ ජනතාවට තේරුම් ගන්න අමාරුයි.

මේ වන විට අපේ රටේ සමස්‌ත විදේශ ණය ප්‍රමාණය රුපියල් කෝටි එක්‌ලක්‌ෂ හැටදහසක්‌ පමණ බව ප්‍රකාශ වී තිබෙනවා. මේ ණය ගෙවන්නත් ණය ගන්න සිදුවී ඇති බවයි ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් ප්‍රකාශ කරන්නෙ. ණය ගෙවන්නත් ණය අරගෙන රටක්‌ සංවර්ධන කරන්න පුළුවන්ද?

මම මේක ඉතාම සරලව කියන්නම්. ඔබේ වැටුපට වඩා ඔබ අරගෙන තිබෙන ණය සඳහා ගෙවිය යුතු වාරිකය වැඩිනම් ඔබ මේ වාරිකය ගෙවන්නෙ කොහොමද? අද අපේ රටේ මුළු ආදායමට වඩා අපේ රට පිටරටට ගෙවන්න ඕන ණය වාරිකය වැඩියිs. වාරිකය ගෙවන්නෙ තව තැනකින් ණය අරගෙන. මේකෙ වඩාත්ම භයානක දේ එදා ණය ගත්තෙ සහනදායී පොලියට. ඒව ගෙවන්න අද ණය ගන්නෙ ගිනි පොලියට. ආණ්‌ඩුව දැන් මේ යන්නෙ "සක්‌විති" මොඩල් එකටයි.

ලෝකයේ අද ආර්ථික බලවතා වන ඇමරිකාවත් ණය උගුලක පැටලිලයි ඉන්නෙ. කෙසේ වෙතත් අපේ රටත් අපට ඔරොත්තු නොදෙන ණය බරක වගේම හෙජින් වැනි අර්බුද වලත් පැටලී ඉන්නවා. මේ ගැටලු මැද රටේ ආර්ථිකය දුෂ්කර කාලපරිච්ඡේදයකට යළි ගමන් කරයිද?

දැන් දේශපාලනය කළාට මම ආර්ථික විද්‍යාව ගැන යම් හැදෑරීමක්‌ කළ කෙනෙක්‌ කියන කාරණය අමතක කරන්නෙ නෑ. ආර්ථික විද්‍යාවට ඉහළින් මම දේශපාලනය තියාගෙන නෑ. ඔබේ මේ ප්‍රශ්නයට මම උත්තර දෙන්නෙ මම දන්න ආර්ථික විද්‍යාවට අනුවයි.

අනාගතේ එක පාරටම රට කඩා වැටෙයි කියල මම කියන්නෙ නෑ. අපේ රටට මුහුණ දෙන්න සිදුවී තිබෙන ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවිය හැක්‌කේ ගෘහස්‌ථ ආර්ථිකය නංවන වැඩපිළිවෙළක්‌ තුළිනුයි. නමුත් මේ ආණ්‌ඩුවේ වැඩපිළිවෙළ ඒක නෙමෙයි. ආර්ථික වර්ධන වේගය මෙච්චරයි දළ දේශීය නිෂ්පාදනය මෙච්චරයි කියලා බොරු මවාපෑම්වලින් මේ ගැටලු විසඳන්න බෑ. අපේ රටේ අද හුඟක්‌ මිනිස්‌සු කන්නෙ නැත්තෙ මහත්වෙන හින්දවත් දියවැඩියාව හින්දවත් නෙමෙයි. මේ ජීවන වියදම මිනිසුන්ට දරා ගන්න බෑ. මේ ආර්ථික ඝාතකයො දිගින් දිගටම මේ වැඩ කළොත් සමහරවිට ජනාධිපතිතුමා නොදැනුවත්ව මේවා සිදුවෙනව ඇති. අපේ රටේ ආර්ථිකය අර්බුදයකට යනවා. එකපාරට රට කඩාවැටෙනව කියලා නෙමෙයි මම කියන්නෙ. අපේ ආර්ථිකය අර්බුදයකට ගිය එක අවස්‌ථාවක අයිඑම්එµa එක අපට අත දුන්න - ග්‍රීසිය වැටෙන්න ගිය වෙලවෙ, අයර්ලන්තය වැටෙන්න ගිය වෙලාව අයි. එම්. එµa එක ඒ රටවලුත් බේරගත්ත. හැබැයි ඉතිං ජාත්‍යන්තරෙත් එක්‌ක බැඳීමක්‌ නැති සුඩානෙ සිම්බාබ්වෙ වගේ අපිත් කොන් වුණොත් ජාත්‍යන්තරය අපිත් අතෑරල දමයි. ඒ නිසා ජාත්‍යන්තරයත් සමඟ තිබෙන සබඳතා තහවුරු කරගෙන සමබරව මේ ගමන යා යුතුයි. දැන් යන මේ ආර්ථික මොඩලයට අනුව චීනයත් එක්‌ක තියෙන මේ ගනුදෙනු නිසා ඉන්දියාවට යම් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. සමහරු තමන්ගෙ පටු පරමාර්ථ ඉටුකරගන්න ඉන්දියාවට බලපෑම් කරන එක අපේ රටේ ආර්ථිකයට එච්චර සුබ දෙයක්‌ නෙමෙයි.