You are here:: News Center Related News මංජුල තිලකරත්න මහතාට පහර දීම සම්බන්ධයෙන් සහ අධිකරණ ක්ෂේත්‍රයේ උද්ගතව ඇති අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය නිකුත් කළ නිවේදනය.
 
 

මංජුල තිලකරත්න මහතාට පහර දීම සම්බන්ධයෙන් සහ අධිකරණ ක්ෂේත්‍රයේ උද්ගතව ඇති අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය නිකුත් කළ නිවේදනය.

AddThis Social Bookmark Button
UNP_new_lgo2එක්සත් ජාතික පක්‍ෂය සැම විටම අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටි අතර මේ අවස්ථාවේ දීත් ඒ ස්ථාවරයේම කටයුතු කරන බව ප්‍රකාශ කළ යුතුය. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල කළ ප්‍රහාරය එක්සත් ජාතික පක්‍ෂය දැඩිව හෙළා දකින අතර එය ඉතා පිළිකුල් සහගත ක්‍රියාවක් බව ද, එය කිසිවිටෙක සිදු නොවිය යුත්තක් බව ද දැඩිව ප්‍රකාශ කර සිටී. මෙම සිද්ධිය අධිකරණ ක්ෂේත්‍රයට එල්ල වූ පළමු ප්‍රහාරය නොවන අතර එවැනි ක්‍රියාදාමයක උච්චතම අවස්ථාවක් ලෙස සැළකිය හැකිය.

මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට පහර දීමේ සිද්ධිය සමග අධිකරණ ක්‍රියාවලියට අනිසි බලපෑම් එල්ල වීම ඉතා පැහැදිලි වූ අතර රජය නිසි පරිදි ක්‍රියා නොකිරීම හේතුවෙන් තත්ත්වය තවදුරටත් වර්ධනය විය. රටක අධිකරණයේ ස්වාධීනත්වය ආරක්‍ෂා කිරීම සඳහා සහ විනිශ්චයකාරවරුන්ට ස්වාධීනව යුක්තිය පසිදලීමේ කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය වාතාවරණය සැකසීම රජයේ සහ අදාළ බලධාරීන්ගේ ප්‍රධාන වගකීමකි. මෙම වගකීම රජය බරපතළ ලෙස පැහැර හැර ඇති අතර ඒ හේතවෙන් අධිකරණයේ ස්වාධීනත්වය බරපතළ ලෙස උල්ලංඝණය වී ඇති අතර විනිශ්චයකාරවරුන්ගේ ජීවිත ද බරපතළ අනතුරකට ලක්ව ඇත.

එක්සත් ජාතික පක්‍ෂය වශයෙන් ප්‍රකාශ කළ යුත්තේ පසුගිය වසර 15 පමණ කාලයක් තුළ අධිකරණයේ ස්වාධීනත්වය බිඳවැටීම සහ දේශපාලනඥයින් සහ වෙනත් රජයේ බලධාරීන් විසින් අධිකරණයට බලපෑම් එල්ල කිරීම පැහැදිලිව දක්නට ලැබුණ බවයි. විශේෂයෙන් දේශපාලන බලපෑම් සහ උවමනාව මත අධිකරණ කටයුතු කළ බවට චෝදනා රාශියක් පසුගිය කාලයේ එල්ල වූ අතර එවැනි දේශපාලන හේතු මත ලබාදුන් තීන්දුවලින් බරපතළ ලෙස අගතියට පත් පාර්ශ්වය එක්සත් ජාතික පක්‍ෂය සහ එහි සාමාජිකත්වය බවද මෙහිදී ප්‍රකාශ කළ යුතුය.

එබැවින් අධිකරණයේ ස්වධීනත්වයට බලපෑම් එල්ල වීමෙන් නීතිය වල්වැදීමක් මෙන්ම ජනතාව නීතිය අතට ගැනීමක් සිදු වන අතර එමගින් ජනතාවට යුක්තිය සහ සාධාරණත්වය ඉෂ්ඨ කර ගැනීමේ අවසන් අවස්ථාව ද අහිමිව ඇත. පසුගිය වසර 15 පමණ කාලය තුළ අධිකරණයට විවිධ පාර්ශ්වයන්ගෙන් බලපෑම් එල්ල වීම ඉතා පැහැදිලිව දක්නට ලැබුණු අතර අධිකරණ ක්‍රියාවලිය සහ තීන්දු සම්බන්ධයෙන් ද විවිධ චෝදනා එල්ල විය. එබැවින් පසුගිය කාලයේ අධිකරණ ෙක්‍ෂ්ත්‍රය තුළ සිදු වූ සියලූ කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බව එක්සත් ජාතික පක්‍ෂය ද පිළිගන්නා අතර කෙසේ වෙතත් එවැනි විමර්ශනයක් රජය විසින් හෝ රජයට සම්බන්ධ පාර්ශ්වයන් විසින් මෙහෙයවීමට හෝ සිදු කිරීමට කිසිඳු සාධාරණ හෝ සදාචාරාත්මක අයිතියක් නොමැත. රජය විසින් සිදු කරනු ලබන එවැනි පරීක්‍ෂණයක් සඳහා එක්සත් ජාතික පක්‍ෂය දැඩි ලෙස විරුද්ධ වන බව මෙහිදී ප්‍රකාශ කළ යුතුය. එබැවින් රජය විසින් අධිකරණ ක්ෂේත්‍රයේ පසුගිය කාලයේ සිදු වූ කටයුතු සම්බන්ධයෙන් යම්කිසි පරීක්‍ෂණයක් සිදු කිරීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා ස්වාධීන පුද්ගලයින්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් සිදු කළ යුතුය. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ වර්තමාන සහ විශ්‍රාම ගිය විනිශ්චයකාවරුන්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයින්, ජ්‍යෙෂ්ඨ නීතීඥයින්, ජනාධිපතිවරයාගේ හෝ රජයේ නියෝජිතයින්, විපක්‍ෂනායකවරයාගේ හෝ විපක්‍ෂයේ නියෝජිතයින් සහභාගි කර ගත යුතුය. එමෙන්ම මෙවැනි පරීක්‍ෂණයක් වඩාත් විනිවිඳභාවයෙන් සිදු කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ නියෝජිතයින් සහ සාක් කලාපයේ නියෝජිතයින් ද සහභාගි කර ගැනීම අනිවාර්ය විය යුතුය.

එවැනි ස්වාධීන පරීක්‍ෂණයකින් තොරව රජය විසින් ගනු ලබන ඕනෑම තීරණයක් සඳහා එක්සත් ජාතික පක්‍ෂය දැඩිව විරුද්ධ වන අතර එවැනි අත්තනෝමතික ඒකාධිපති තීරණ ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්‍ෂා කිරීම සදහා එක්සත් ජාතික පක්‍ෂය කිසිදු අවස්ථාවක පසුබට නොවනු ඇත. එක්සත් ජාතික පක්‍ෂය නැවතත් ප්‍රකාශ කර සිටින්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහර දී දැඩිව හෙලා දකින බවත්, ඊට වගකිවයුත්තන් තරාතිරම නොබලා නීතිය හමුවට පැමිණ විය යුතු බවත් එසේම ඕනෑම අවස්ථාවක අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂය පෙනී සිටින බවත්, අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීම සඳහා විනිශ්චයකාරවරුන් සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ගනු ලබන ඕනෑම තීරණයකට එක්සත් ජාතික පක්‍ෂය වශයෙන් පූර්ණ සහයෝගය ලබාදෙන බවත් ය.

අවසන් වශයෙන් ප්‍රකාශ කළ යුත්තේ මෙරට ජනතාව විසින් උත්තරීතර ආයතනයක් ලෙස සැලකූ අධිකරණ පද්ධතිය මෙවැනි තත්ත්වයකට පත්වීම සම්බන්ධයෙන් සහ විනිශ්චයකාරවරුන්ට දේශපාලන බලපෑම් එල්ල වීම ශාරීරික හානි සිදු කිරීම දක්වා වර්ධනය වීම සම්බන්ධයෙන් රජය පූර්ණ වශයෙන් වගකිව යුතුය.

එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය

2012 ඔක්තෝබර් 12