You are here:: News Center Related News අපි ඉස්සර බය වුණේ කළුවරට දැන් බය ලයිට් බිලට - විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ
 
 

අපි ඉස්සර බය වුණේ කළුවරට දැන් බය ලයිට් බිලට - විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ

AddThis Social Bookmark Button
ranil1_Media_conferenceලෝකයේ කෑම සඳහා වැඩියෙන්ම බදු අය කරන රට ශ්‍රී ලංකාව බව විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළියේදී ප්‍රකාශ කළේය.රනිල් වික්‍රමසිංහ මහතා එසේ ප්‍රකාශ කළේ නුවරඑළිය නගර ශාලාවේදී එක්සත් ජාතික පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරීකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමකදීය.
විපක්ෂ නායකවරයා මෙම රැස්වීම අමතමින් මෙසේද කියා සිටියේය.

රාජපක්ෂ රෙජිමයෙන් රටට ලැබුණේ කුඩම්මාගේ සැලකිලි. ඒක වහල කතා කරන්න දෙයක් ‍නෙවෙයි. සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ කවුරු වුණත් ඒකයි සිදුවුණේ. කියන්න වැඩක් නැහැ.
2009 ඡන්දය දුන්නනේ පළාත් සභාවේ. යුද්ධය ඉවර කරලා රාජපක්ෂ රෙජිමය ශක්තිමත් කරන්න ඕන කියලා. මධ්‍යම පළාත දියුණු කරන්න ඕන කියලා.

නිකම් නෙවේ කිව්වේ මෙහේ රජ ගෙදරට ගෙනැල්ලා පාටි දාලා කිව්වා. බත් පැකැට් දීලා කිව්වා. මහනුවරට ගෙනැල්ලා බත් පැකැට් දීලා කිව්වා. මොකක්ද වුණේ?
හම්බන්තොටට දුන්නා වරායක්. නැව් නැහැ වරාය තියෙනවා. නුවරඑළියේ වැවේ ඊට වඩා බෝට්ටු තියෙනවා. ‍පොඩි බෝට්ටු හරි යනවා.

ගුවන් තොටු‍පොළක් දුන්නා. ඒකත් නැවැත්තුවා. ක්‍රීඩාංගණයක් දුන්නා. ඒකත් නැහැ. ලෝකයේ වල් අලි ක්‍රිකට් ගහන එකම ක්‍රීඩාංගණය. මහා මාර්ග හදලා දුන්නා. සම්මන්ත්‍රණ ශාලා දීලා තියෙනවා හම්බන්තොටට. ඊට වඩා හෝටල් තියෙනවා මහනුවර. ඊට වඩා හෝටල් තියෙනවා දඹුල්‍ලේ, නුවරඑළියේ. ඔය එකකට දෙන්න සම්මන්ත්‍රණ ශාලාවක්. මධ්‍යම පළාතට ඒ ගොල්ලන්ට තීරණය කරන්න තිබුණා.

මේ එක හෝටලයයි. අර ගජමන් නෝනා කියලා ඩොයිලි හදපු අම්බලමයි තියෙන හම්බන්තොටට දීලා තියෙනවා. මේ සම්මන්ත්‍රණ ශාලා. කොහෙද? ඒකේ මිනිස්සු ඉන්න යන්නේ. ඒක නේද දීලා තියෙන සැලකිල්ල. මොකක්ද? අන්තිමට වෙලා තියෙන්නේ මැදමුලනට කිරි. මහනුවරට කැකිරි.

කවුද නුවරඑළිය දිස්ත්‍රික්කය හැදුවේ? අධ්‍යාපනය පටන් ගත්තේ? එදා ඩී.එස්. සේනානායක මැතිතුමා දුන්න ‍පොරමඬුල්ල විද්‍යාලය. ඊට පස්සේ මම අධ්‍යාපන ඇමැති හැටියට ගාමිණී දිසානායක මැතිතුමා කියලා අපි ගාමිණී විද්‍යාලය දියුණු කරලා දුන්නා. රේණුකා මැතිනිය කියලා නිල්දණ්ඩාහින්න විද්‍යාලය හදලා දුන්නා. තොණ්ඩමන් මැතිතුමා යූ.එන්.පී. ආණ්ඩුවේ ඉඳිද්දී නානුඔය, හෝලිට්‍රිනිටි විද්‍යාලය දියුණු කළා. චන්ද්‍රසේකරන් මැතිතුමාගේ ඉල්ලීම මත හයිලන්ඩ් විද්‍යාලය දියුණු කළා. මේ ආණ්ඩුව එකක් කරලා තියෙනවා.

කවුද ශ්‍රීපාද අධ්‍යාපන විද්‍යා පීඨය දුන්නේ? ඒ පාර කිව්වා වතුකරයේ අයට උගන්වන්න දාන්න බැහැ කියලා. තොණ්ඩමන්, ගාමිණී දිසානායක ඇමැතිවරු මට කතා කළාට පස්සේ මම වෙනම වැඩසටහනක් දැම්මා වතුකරයේ ගුරුවරු පුහුණු කරන්න. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා යටතේ අපි වැවිලි කර්මාන්ත සංවර්ධන අරමුදලක් (ප්ලාන්ටේෂන් ඩිවලොප්මන්ට් ෆන්ඩ් එකක්) දුන්නා.

වතුකරයේ පාසල් ඔක්කොම අරගෙන මට භාර දුන්නා. හරක් මඩු වාගේ. දැන් ඔන්න තියෙනවා විද්‍යාල ටික. වතුකරයේ රෝහල් ටික භාර ගත්තා. ජේ.ආර්. ජයවර්ධන යටතේ එදා දුන්නා ගාමිණී ජයසූරියට. ඊට පස්සේ දුන්නා රංජිත් අතපත්තුට. අන්න අද තියෙනවා රෝහල් ටික.
තවත් මොනවාද කියන්නේ පුල්ලෙ කාමර තියෙනවා.තරුණයින් කොන්වෙලා හිටියේ. ගමේ තරුණයන් වතුකරයේ තරුණයන් ජාතික තරුණ සේවා සභාව එකතු කරගෙන මම ගෙන ගියේ.මෙහේ තිබුණේ ගෙවල් මොනවාද? වැඩි හරියක් තිබුණේ ‍පොල්අතු දාගෙන. නැත්නම් ලයින් කාමර. රේණුකා මහත්මිය දිසා ඇමැති කා‍ලේ ප්‍රේමදාස මැතිතුමාට කියලා ඒ කා‍ලේ අගමැති. මේ ගෙවල්වලට අපි උළු දාන්න පටන් ගත්තේ. දැන් සියයට හැත්තෑ පහක් තියෙනවා.

වතුකරයේ කැඩිච්ච ලයින් කාමර දියුණු කරන්න පටන් ගත්තා. දියුණු කරලා මම අගමැති වෙලා ඉන්න කා‍ලේ සහතික දුන්නා. අයිතිය පිළිබඳව. දැන් සහතික දීලා තියෙනවාද? අපි ඒ කා‍ලේ ගෙවල් හදන්න පටන් ගත්තා. ගෙවල් හැදුවා. සහතික දුන්නා. ගෙවල් දියුණු කළා. දැන් කොච්චර හදලා තියෙනවාද? දැන් නතර කළා. දැන් මෙහේ නැහැ. දැන් සාමාන්‍ය ජනතාවට මුකුත් නැහැ.
තොණ්ඩමන් ඇමැතිතුමා ඒ කා‍ලේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට යෝජනාවක් කළා. අපිට කියන්න එපා ලියාපදිංචි කරපු පුරුවැසියන් කියලා. අපි ඒක පිළිගත්තා. අපි ඒක පිළි අරගෙන 1978 ව්‍යවස්ථාවේ දැම්මා. එක වර්ගයයි ලංකාවේ පුරවැසියන් කියලා ඉන්නේ. ඒ ශ්‍රී ලාංකිකයෝ. සිරිමා-ශාස්ත්‍රී ගිවිසුමෙන් පස්සේ ඉතුරු ඔක්කොමලටම පුරවැසිකම දුන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ජේ.ආර්. ජයවර්ධන යටතේ හා මා යටතේ කියලා මම මතක් කරන්න කැමතියි.

අසූ හයේ අපි පුරවැසිභාවය දෙනකොට බණ්ඩාරනායක මැතිනියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකට විරුද්ධ වුණා. එදා ඒ ව්‍යාපාරයට සම්බන්ධවෙලා කෑගහපු එක්කෙනෙක් තමයි අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ. එදා අහන්න ඕන අසූ හයේ මේ ජනතාව ඡන්දය දෙනකොට ඒකට ඇයි විරුද්ධ වුණේ කියලා?

එකක් කියන්න ඕන චන්ද්‍රිකා කුමාරතුංග අසූ හයෙත් කිව්වා මේ අයට ඡන්ද අයිතිය දෙන්න ඕන කියලා. විජය කුමාරතුංගත් කිව්වා. ඒත් බණ්ඩාරනායක මැතිනියයි අපේ අනුර බණ්ඩාරනායක මැතිතුමයි, මහින්ද රාජපක්ෂයි, අපේ කොත්ම‍ලේ හිටපු මන්ත්‍රීතුමයි ඔක්කෝමලා විරුද්ධ වුණා මේ අයට දෙන එකට.

ඉතින් පුදුමද? ඔයගොල්ලන්ට ගෙවල් හදන්න දෙන්නැති එක. මේ වෛරය දෙමළ මිනිස්සුන්ට පමණක් සීමා වුණා නම් කමක් නැහැ. සිංහල මිනිස්සුන්ටත් ගහනවානේ. ඒකයි මට තේරෙන්නේ නැත්තේ.

ඩඩ්ලි සේනානායක යුගයේ තමයි කතා කරලා අඹ්වෛලට අර කිරි ෆැක්ටරිය ගෙනැල්ලා දැම්මේ. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමයි, එම්.ඩී. බණ්ඩා මැතිතුමයි.
ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා රාජ්‍ය ඇමැති හැටියට අර්තාපල් ගෙන්වන එක තහනම් කරලා කිව්වා. මෙහෙ වගා කරන්න කියලා. ඒකෙන් පටන් ගත්ත. ආර්ථිකය හැදුණේ එහෙමයි.
එළවළු වගාව පටන් ගත්තේ හැත්තෑ හතෙන් පසුවයි. තොණ්ඩමන් ඇමැතිතුමා කියලා එකඟවෙලා කිරි හරක් බෙදන්න පටන් ගත්තා. ඒ යූ.එන්.පී. කා‍ලේ. ඊට පස්සේ  වුණේ නැහැ. තොණ්ඩමන් ඇමැතිතුමා කරපු හැම එකක්ම කළේ යූ.එන්.පී. කා‍ලේ. එතුමා සමග වැඩ කරපු අය ඒක සහතික කරයි.

ඇඟලුම් කර්මාන්තය මෙහාට ගෙනාවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. සංචාරක ව්‍යාපාරය මෙහාට ගෙනාවේ එක්සත් ජාතික පක්ෂයයි.ලංකාවටම විදුලි බලය බෙදා දෙන්න පටන් ගත්තේ අපි නුවරඑළියෙන්. මධ්‍යම පළාත තමයි කේන්ද්‍රය. ලක්ෂපාන, මාවුස්සාකැ‍ලේ, කාසල්රි විදුලි බලාගාරවලින් දුන්නා.

ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා යටතේ ගාමිණී දිසානායක නායකත්වයෙන් කොත්ම‍ලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ දුන්නා. ඩඩ්ලි සේනානායක මැතිතුමා තමයි ‍පොල්ගොල්ල පටන්ගෙන බෝවතැන්න දුන්නේ. ලංකාවට විදුලි බලය උපයන කර්මාන්තය හදලා දුන්නේ මෙහේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. ඔන්න යූ.එන්.පී.යෙන් කරලා දුන්න ටික. තවත් කියන්න ඕනද? මටයි මහ ‍ලේකම්තුමාටයි මෙතැනින් පිටවෙලා යන්න බැරි වෙනවා. මහනුවරට මොකක්ද අද වෙලා තියෙන්නේ? ඔක්කොම ජල විදුලි බලය නිෂ්පාදනය කරන්නේ මෙහෙන්. ජලාශ ඔක්කෝම පිරිලා. ඒ වුණාට සහනයක් හම්බවුණාද? තාම ගෙවනවා නේද? අද ලෝකයේ වැඩිම ලයිට් බිල තියෙන්නේ ලංකාවේ. නියඟයක් නැහැ. දැන් වතුර තියෙනවා. ඉස්සර අපි සහනාධාර ක්‍රමයට යුනිට් අනූවක් දුන්නා. දැන් දෙන්නේ යුනිට් හැටයි.

ඉස්සර අපි කළුවරට බයවුණේ. අද අපි ලයිට් බිලට බයවෙලා ඉන්නේ.
තවත් වාර්තාවක් තියෙනවා ලෝකයේ කෑමවලට වැඩියෙන්ම බදු ගන්නේ ලංකාවේ. සියයට තිස් නවයක් ගන්නවා.මේ පැත්තේ සැමන් ටින් එකක් කීයද? දෙසිය හැටයි. එයින් සීයක් ගන්නවා. සැමන් අල්ලන කට්ටියයි ඒගොල්ලො ලාභයක් අරගන්න එකයි, ඒක ෆැක්ටරියට ගෙනැල්ලා සකස් කරලා ඒක ඇතුළේ වැඩ කරන අයට ගෙවලා ඒගොල්ලෝ ලාභ අරගන්න එකයි, නැවට ගෙනැල්ලා දාලා ඒකෙන් ලාභය ගන්න එකයි, ඒජන්තගේ ලාභය ගන්න එකයි. ඊට පස්සේ කඩෙන් ලාභය ගන්න එකට එකසිය හැටයි. සීයයි. තව ඉතින් මොනවා කියන්නද?

පරිප්පු කිලෝ එකක් මෙහේ කීයද? පරිප්පු කිලෝවකින් රුපියල් විසි දෙකක් ගන්නවා. කරවල කිලෝවකින් රුපියල් හැත්තෑ පහක් ගන්නවා. මේක විතරක් අරගෙන සීමාවෙලා නැහැ.මේ රටේ ණය අපිට ගෙවන්න තියෙන එක අරගත්තොත් එක අයෙක් ලක්ෂ තුනයි. දෙන්නෙක් ගෙදර හිටියොත් ලක්ෂ හයයි. තව ළමයි දෙන්නෙක් හිටියොත් ලක්ෂ දොළහක් ගෙවන්න තියෙනවා. මේ ඔක්කොමත් අපිට බර දානවා ගෙවන්න කියලා.

ඇයි මේ ලක්ෂ තුන ගෙවන්නේ? පාරවල්, පාසල්, සෞඛ්‍ය පහසුකම් දුන්නේ නැහැ. මොකක්වත් දියුණුවක් කළේ නැහැ. අර හම්බන්තොට වරායටයි, හම්බන්තොට ගුවන් තොටු‍පොළටයි, ක්‍රීඩාංගණයටයි, සම්මන්ත්‍රණ ශාලාවටයි ඒ ඔක්කෝටම ගෙවන්න කියලා නුවරඑළියේ ජනතාවටත් කියනවා. හැම එක්කෙනාටම ලක්ෂ තුන ගානේ ගෙවන්න කියලා. හොඳයි නේද?

එහෙම බලනකොට මැදමුලනට කිරි. මහනුවරට කැකිරි. මස්කෙළියට ‘ඉල්ලෙයි, ඉල්ලෙයි, ඉල්ලෙයි’ (නැහැ, නැහැ, නැහැ) තව කොච්චර ඡන්දේ දුන්නත් වැඩ කරන්නේ නැහැ. මොකක්වත් වෙන්නේ නැහැ. අවුරුදු හතරක් ගිහිනුත් මොනවද වුණේ? කොච්චර ගිහින් දුන්නත් වැඳලා දුන්නත් වැඩ කරන්නේ නැහැ. අමතක කරලා තියෙන්නේ.

මේ ඡන්දය එක ප්‍රයෝජනයට ගන්නවා. ආපසු මේගොල්ලන්ට බ‍ලේ දුන්නා කියලා මොනවත් කරන්නේ නැහැ. මේක ආණ්ඩු මාරු කරන ඡන්දයක් නම් ‍නෙවෙයි. ඒක මමත් පිළිගන්නවා.
ඒත් ආණ්ඩුවට විරුද්ධව තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කරන ඡන්දයක් බවට අපි මේක පත්කර ගමු. පණිවිඩයක් යවන්න. එතකොට විතරයි ඇහැරෙන්නේ. ගිහින් ඒගොල්ලන්ට ඡන්දය දුන්නොත් ගෙදර හිටියොත් රාජපක්ෂ රෙජිමය කරගෙන යන එක අනුමත කරනවා විතරයි.

හැම එක්කෙනෙක්ම ගිහින් කියන්න අපි මේ පණිවුඩය යවමු. අපි විරුද්ධත්වය ප්‍රකාශ කරමු. ශ්‍රී ලංකා අයටත් විරුද්ධත්වය ප්‍රකාශ කරන්න කියමු. හැදුණොත් ඊළඟ සැරේ මහ ඡන්දය ආවම බලන්න ඒගොල්ලන්ට සහාය දෙනවාද? නැද්ද කියලා. හැදුණේ නැත්නම් දන්නවානේ මොනවාද කරන්නේ කියලා?
යූ.එන්.පී. වුණත් නූනත් විරුද්ධත්වය ප්‍රකාශ කරන ඡන්දය තමයි අලියට ගහන ඡන්දය. ඒක ජනතාව වෙනුවෙන් දෙන ඡන්දයක්. අපි සාමාන්‍යයෙන් කියන්නේ යූ.එන්.පී.ය දිනවමු කියලා. මම මේ සැරේ කියන්නේ ජනතාව දුක් විඳින එකට සීමාවක් දාන්න යූ.එන්.පී.යට ඡන්දය දෙන්න කියලා.

සමහරු අපේ අය කියයි වැඩක් නැහැ මේක ආණ්ඩු මාරු කරන ඡන්දයක් නොවෙයි, ඡන්දේ දෙන්නේ නැහැ කියලා. අනිත් අයත් කියයි වැඩක් නැහැ කියලා. මෙතැන තමයි හොඳ අවස්ථාව. එක්සත් ජාතික පක්ෂය වුණත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වුණත්, සී.ඩබ්ලිව්.සී. එකේ වුණත් කවුරු හරි වුණත් ආණ්ඩුවට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න. හැම එක්කෙනාටම ඡන්දය පාවිච්චි කරන්න කියන්න. නැත්නම් කිරිපිටි ආයෙමත් වැඩිවේවි. මාළු ටින් එකත් වැඩිවෙයි. පරිප්පුත් වැඩිවෙයි. එච්චරයිනේ වෙන්නේ පාන් මිල වැඩිවෙයි. රැකියා නැතිවෙනවා.
ජනතාව විඳින දුකේ සීමාවක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂයට සැප්තැම්බර් 21 දා ඡන්දය දෙන ලෙස මම ඉල්ලා සිටිනවා.
එක්සත් ජාතික පක්ෂ මහ‍ලේකම් තිස්ස අත්තනායක මහතා,

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පළාත් සභා මැතිවරණය ඡන්ද ව්‍යාපාරයේ කටයුතු ටික ආරම්භ කිරීමටයි අද අපි නුවරඑළියට ආවේ.
ආණ්ඩුවට අවස්ථාවක් දෙනවා කියන්නේ මේ රටේ මිනිස්සු තවත් පෑගිලා ‍පොඩිවෙලා ආණ්ඩුව මේ රටේ ජනතාව ගණන් ගන්නැති තත්ත්වයකට පත්වෙන එක. ඒ නිසා මේ මැතිවරණය දිනන සටනක් බවට පත් කර ගන්න අපි තමුන්නාන්සේලා දැනුවත් කරන්න තමයි මේ බල මණ්ඩල කැඳවලා එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන්න කියලා මතක් කරන්න අද දවසේ නුවරඑළියට ආවේ.

මේ සැරේ අපේ ඡන්ද ව්‍යාපාරයේ මූලික ඉලක්ක කිහිපයක් තිබෙනවා. වෙනදා කරන ඡන්ද ව්‍යාපාරය ප්‍රචාරය වෙනුවෙන් රැස්වීම් වෙනුවෙන් කාලය ගත කළා හුඟක් කල්. නමුත් මේ සැරේ අපිට අපේ නායකතුමා උපදෙස් දුන්නා ඡන්දය දිනන්න ඕන ව්‍යාපාරයක් බවට පත් කර ගන්න නම් හැම ඡන්ද මධ්‍යස්ථානයක්ම දිනන වැඩපිළිවෙළකට අපි අවතීර්ණ වෙන්න ඕන. ඒ කියන්නේ ඡන්ද මධ්‍යස්ථානය දිනනවා නම් නුවරඑළියේ ඡන්ද මධ්‍යස්ථාන තුන්සිය අනූවෙන් බහුතරයක් දිනන්න ඕන. ඒක දිනන්න අපට පුළුවන්. නුවරඑළිය කියන්නේ එක්සත් ජාතික පක්ෂය ඡන්ද ජයග්‍රහණය කරන දිස්ත්‍රික්කයක්.

නුවරඑළියේ තමුන්නාන්සේලාගේ ඡන්ද විශේෂයෙන්ම වතුකරයේ ඡන්ද පසුගිය කාලයේ එක එක සංවිධාන එහෙට මෙහෙට වෙන්දේසි කළා.
තමුන්නාන්සේලා අලියට ගහනවා. ඒ ඡන්දය අරන් ගිහිල්ලා ආණ්ඩුවට වෙන්දේසි කරනවා. ඒක තමයි නුවරඑළිය ඉතිහාසයේ පසුගිය කාලයක් තිස්සේම සිද්ධ වුණේ. ඒ නිසා මේ සැරේ එහෙම ‍නෙවෙයි හැමදාම එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන, ආණ්ඩුවට තමුන්නාන්සේලාගේ ඡන්දය කිසිසේත් වෙන්දේසි නොකරන, අපේ කණ්ඩායමක් තමයි මේ සැරේ මේ අපේ ඡන්ද ව්‍යාපාරයට එකතුවෙලා ඉන්නේ.

ඒ නිසා අපේ මේ ඡන්ද ව්‍යාපාරය අපි ඉලක්කගත ඡන්ද ව්‍යාපාරයක් බවට පත් කරන්න ඕන. මොකද මධ්‍යම පළාත් සභාව ගැන ආණ්ඩුවට තියෙන හැඟීම හොඳ නැහැ.
ආණ්ඩුවේ මැති ඇමැතිවරු හිතන්නේ මේ සැරේ යූ.එන්.පී.ය දිනනවා කියලා. ඉතින් එක්සත් ජාතික පක්ෂය අපි මේක දෙගුණ කර ගන්න එපායැ. මොකද? මධ්‍යම පළාත් සභාව එක්සත් ජාතික පක්ෂයෙන් දිනනවමයි කියලා අපිට තියෙන හැඟීම සහතික කරන්න සැප්තැම්බර් 21 දා අලියට ඡන්දය දෙන්න කියලා තමුන්නාන්සේලා හැම දෙනාගෙන්ම අපි ඉල්ලන්න කැමැතියි.

මධ්‍යම පළාතට තරග කරන එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් සභා අපේක්ෂකයන් වන කණ්ඩායම් නායක කේ.කේ. පියදාස, සුප්පයියා සතාසිවම්,  යන අපේක්ෂකයන් මෙහිදී කතා කළ අතර ජෝන් අමරතුංග, රවින්ද්‍ර සමරවීර, ආර්. යෝගරාජන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද සහභාගි වූහ.