Press & Media

“අමානුෂිකයි” – හිටපු ඇමති රවී මහ බැංකුවේ ලොකු පඩි ගැන කියයි

“අමානුෂිකයි” – හිටපු ඇමති රවී මහ බැංකුවේ ලොකු පඩි ගැන කියයි

රාජ්‍ය අංශයේ වියදම් අවම කර ගැනීම සම්බන්ධයෙන් රජය විසින් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති පසුබිමේ මහ බැංකුවේ කාර්ය මණ්ඩලය පමණක් 70%කින් වැටුප් ඉහළ නංවා ගැනීම අනුමත කළ නොහැකි මෙන්ම අමානුෂික ක්‍රියාවක් බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

මහ බැංකුව ස්වාධීන ආයතනයක් කිරීම පදනම් කර ගනිමින් මෙරට ජාතික ප්‍රතිපත්තියට පටහැනිව තවත් රටක් මෙන් සිදුකරන අත්තනෝමතික හැසිරීමක නිරතවීමට ඉඩ නොදිය යුතු බවත් මීට පෙර රට බංකොලොත් බව මහ බැංකුව විසින් නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවේද පාර්ලිමේන්තුවේ කිසිඳු අනුදැනුමක් නොමැතිව බවත් ඒ මහතා සඳහන් කළා.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

“අපට මතකයි පසුගිය සමයේ රට බංකොලොත් බව මහ බැංකුව ප්‍රකාශ කළ අවස්ථාවේ ඒ ගැන ප්‍රසිද්ධ කිරීමට පෙර පාර්ලිමේන්තුවේ අදහස් විමසීමක් සිදු නොකළ බව. පාර්ලිමේන්තුවේ අනුදැනුමක් නැතුව තමයි එදා ඒ තීන්දුව ගත්තේ. එදා ඩොලරය රුපියල් 380- 385 ක් වැනි අගයක තිබුණේ. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රතිපත්තිය හමුවේ රටේ මුල්‍ය විනයක් ඇතිකර ගෙනගිය වැඩපිළිවෙල නිසා අද වන විට එය රුපියල් 307 ක් පමණ අගයකට පත්ව තිබෙනවා.

මෙහිදී ප්‍රධාන කරුණු දෙකක් ගැන අවධානය යොමුකළ යුතුයි. පළමු වැන්න තමයි මේ ආකාරයට ඩොලරය හමුවේ රුපියල ශක්තිමත් බව පෙනුනත් අපි තවමත් විදෙස් ණය නොගෙවන බව. දෙවැන්න තමයි රජයේ වියදම් කිසියම් පාලනයකට නතුකර තිබෙන බව. ඒ නිසා ඉතා ප්‍රවේශමෙන් අප කටයුතු කල යුතුයි. තවමත් අර්බුදය අවසන් නෑ. මෙහිදී ආදායම් වැඩි කිරීමක් ගැන දිගින් දිගටම අදහස් දැක්වෙමින් තිබෙනවා. නමුත් රාජ්‍ය වියදම් අඩු කිරීම, විශේෂයෙන් අනවශ්‍ය වියදම් අඩු කිරීම ගැනත් අවධානය යොමුකල යුතුයි.

මේ රටේ බදු ආදායමින් රුපියල් බිලියන 1700ක් පමණ වැය කරන්නේ ලක්ෂ 16 ක් පමණ වන රාජ්‍ය සේවකයන් ප්‍රමාණයක් නඩත්තු කිරීමටයි. රාජ්‍ය බදු ආදායමින් 75%-80% ක් පමණ ඊට වැය කෙරෙනවා. මේ තත්වය වෙනස් කල යුතුයි. අපිට පුළුවන් නම් මේ ප්‍රමාණය රුපියල් බිලියන 900කට වගේ අඩුකර ගන්න, ඒ ඉතුරු මුදලින් සෞඛ්‍ය අංශයේ අඩුපාඩු , පාසල් පද්ධතිය සංවර්ධනය කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැංවීම වැනි කටයුතු සඳහා යොදවන්න පුළුවන්.එහිදී මේ යොදවන මුදල් පෙරලා ආයෝජන බවට පත්වෙනවා.

වියදම් අඩු කරලා, ආදායම් වැඩි කල විට ලෝකය අපි පිළිබඳ විශ්වාසයක් ඇතිකර ගන්නවා. එවිට ඔවුන් පිළිගන්නවා අප මුල්‍ය විනයක් ඇතුව කටයුතු කරන බව. ඒ වගේම අපි ණය ගෙවන අවස්ථාව වන විට අපනයනය ශක්තිමත් කරගෙන සිටිය යුතුයි. ඩොලර් බිලියන 12 ක විදෙස් ඉපයීම් ඩොලර් බිලියන 19-20ක් දක්වා වැඩිකර ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ ඉලක්කය සපුරා ගන්න පුළුවන් වුනොත් අපේ ප්‍රශ්නය විසඳෙනවා.”

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේද පැවසුවා.

 

SriLanka News

Search