Press & Media

කටුපොල් තහනම ඉවත්කර දෙන්න හිටපු ඇමති රවී මැදිහත් වෙයි !

කටුපොල් තහනම ඉවත්කර දෙන්න හිටපු ඇමති රවී මැදිහත් වෙයි !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

හිටපු අමාත්‍යවරයා එම අදහස් පළ කලේ කටුපොල් වගාකරුවන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

කටුපොල් වගා කරන ගොවීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හිටපු අමාත්‍යවරයා මතුගම බදුරලිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර එය සංවිධානය කර තිබුණේ හරිත දෙරණ කුඩා හා මධ්‍ය පරිමාණ වැවිලිකරුවන්ගේ සංගමය විසිනි.

එහිදී එම ගොවීන් පෙන්වා දුන්නේ කටු පොල් වගාව තහනම් කිරීම නිසා පවුල් විශාල ප්‍රමාණයක් ආර්ථික ගැටළු රැසකට මුහුණ දී සිටින බවයි.

එසේම අපනයන භෝගයක් ලෙස දියුණු කළ හැකි මෙම කටුපොල් වගාව යළි ස්ථාපිත කර දෙන ලෙස හිටපු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ තම ඉඩම්වල වගේම රජයේ ඉඩම්වල වගා කිරීමට අවසර ලබා දුන්නොත් තේ රබර් වලට වඩා වැඩි විදේශ විනිමයක් රටට ලබාගත හැකි බවයි.

කටුපොල් අක්කරයක් මගින් මසකට රුපියල් 75000ක ශුද්ධ ආදායමක් ඉපයිය හැකි බවද එම ගොවීන් පෙන්වාදී ඇති අතර ඇතැම් පුද්ගලයින්ගේ දුර්මත නිසා මෙම භෝග වගාව තහනමට ලක්කර ඇති බව කර තිබේ.

තවද මැලේසියාව, ඉඳුනීසියාව වැඩි රටවල ප්‍රධාන අපනයන බෝගයක් ලෙස මෙය ව්‍යාප්ත කර තිබෙන බවද ගොවීන් සඳහන් කර ඇති අතර එබැවින් මෙම කටුපොල් වගාව ලංකාව පුරා ව්‍යාප්ත කිරීම මගින් රටට හොඳ ආදායමක් ලබාගත හැකි බවද පෙන්වාදී ඇත.

මෙහිදී අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් පවතින දුරුමත ඉවත් කරගෙන කටු පොල් වගාව පිළිබඳව විශේෂඥ දැනුම් ඇති පුද්ගලයින් පිළිබඳව සාකච්ඡා කර යළි වගා කරවීම සඳහා අවසර ලබාදීමට කටයුතු කරන බවයි.

මෙහිදී එම ගොවින්ට හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පොරොන්දුවී ඇත්තේ මේ පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ලබන ජනවාරි මාසය වන විට පවතින තහනම ඉවත් කිරීම සඳහා කටයුතු සලසා දෙන බවයි.

ඒ අනුව ඉදිරියේදී සියලු දෙනාගේ සහයෝගය ඇතිව රජයේ සහ මාධ්‍යයේ සහයද ලබාගෙන වාණිජ භෝගයක් ලෙස කටුපොල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා පියවර ගන්නා බවත් හිටපු අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

මේ අතර රටේ පවතින දේශපාලන තත්ත්වයන් සහ කාලීන වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකල විමසීම් කිහිපයකටද හිටපු අමාත්‍යවරයා මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියේය.

බංකොලොත් නැතිව තිබුණු රටක් ජනතාවගේ ඉල්ලීම පරිදි එය වෙනස් කරලා ලැබුණු ප්‍රතිවිපාකයට තමයි අපි මුහුණ දීල හිටියේ, ඊට පස්සේ යන මාර්ගය නැති වුණා ආදායම මදි වුණා වියදම වැඩි වුණා. රට බංකොලොත් උනා. බංකොලොත් කරපු කට්ටියට නෙමෙයි එයින් එළියට ගන්න සිද්ධ වෙලා තියෙන්නේ දැන් ඉතින් හැමකෙනාටම බැන බැන පරිපාලනයක් ගෙනයන්න බැරි කට්ටිය ඒකට උත්තර දෙන්න හදනවා. අභියෝගය බාරගත්ත වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේකට අවශ්‍ය උත්තර සපයාගෙන ඉදිරියට ගමන් කරමින් යන මොහොතක්, ජීවන වියදම ලේසි නෑ අපි නිකං බොරු කියලා වැඩක් නෑ. පුළුවන් තරම් ආදායමාර්ග ඇති කරලා ජන ජීවිත යථාවත් කරන්න තමයි අවශ්‍ය වන්නේ. මේක මේ දේශපාලන පොරපිටියේ නිකන් වචනවලින් රටක් හදන්න බෑ.

තව මාස කිහිපයකින් විදුලිබිල අඩුවෙනවා.

මම විදුලි බල ඇමති ඉන්න කාලෙ ඉඳලා පුනර්ජනනීය බලශක්තිය වැඩ පිළිවෙල් වලට සියලු බදු අයින් කරලා තියෙන්නේ. කිසිම බද්දක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේකේ තියෙන ප්‍රශ්නය තමයි විදුලි බල මණ්ඩලය. මොකද තාම විදුලි බල මණ්ඩලය මේකට හරි උත්තර දෙන්න අපොහොසත් වෙලා තියෙන්නේ, විදුලු බල මණ්ඩලය ගත්තහම 27000ක් පමණ එතන ඉන්නවා.නමුත් එතනට අවශ්‍ය ප්‍රමාණය වන්නේ දහපාලොස්දාහක් පමණ කියලා ඔවුන්ම පිළිගන්නවා. ඒක නිසා අධික නිෂ්පාදන වියදම තුළින් අනිසි ලෙස විදුලි බිල වැඩිවෙලා තියෙනවා. මේ තත්ත්වය ආණ්ඩුව දැනගෙන එය නිසි මාර්ගයකට ගැනීම සඳහා මේ වන විට කටයුතු කරගෙන යනවා. ඉතින් මං හිතන විදිහට තව මාස දෙක තුනකින් විදුලි බිල අඩු කිරීම සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් කරාවි.

ඇත්ත අමිහිරි වෙන්න පුළුවන් . හැබැයි ඒ අමිහිරි ඇතුලෙන්ම තමයි රටක් හරි මාර්ගයකට ගේන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ අභියෝගය බාරගෙන වැඩ කරන්න අපි කටයුතු කරනවා. මේ තත්ත්වය වෙනස් කරන්න තනි පුද්ගලයෙකුට පුළුවන්කමක් නැහැ, සියලු දෙනාම එකට අත්වැල් බැඳගෙන සියලු පක්ෂවල සහයෝගය ඇතිව වගේම මාධ්‍යයත් මේකට දායකත්වය ලබා දිය යුතුයි.හැමදාම බැටකන්නේ වැඩ කරන පුද්ගලයින් එනිසා අලුත් විදියට හිතන්න පුළුවන් පිරිසක් තමයි අපි නිර්මාණය කළ යුත්තේ.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට අමතරව කළුතර හිටපු නගරාධිපති නන්දන ගුණතිලක සහ හිටපු සංචාරක අමාත්‍යය අචල සුරංග ජාගොඩ ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Search