Press & Media

රටක් ඉදිරියට ගෙන යන්න නම් වාණිජකරණය කළ යුතුමයි

රටක් ඉදිරියට ගෙන යන්න නම් වාණිජකරණය කළ යුතුමයි

දේශපාලන වේදිකාවේ සිදු කරන වචනවලින් රට ගොඩ නැගිය නොහැකියි

ඉදිරියේ දී විදුලිය ගාස්තු අඩු කරනවා

තහනමට ලක්ව තිබූ කටු පොල් වගාවට රවීගේ මැදිහත්වීමෙන් යළි අවසර..!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ කටුපොල් වගාකරුවන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

කටුපොල් වගා කරන ගොවීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රවී කරුණානායක මහතා කළුතර, මතුගම, බදුරලිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අතර එම චාරිකාව සංවිධානය කර තිබුණේ හරිත දෙරණ කුඩා සහ මධ්‍ය පරිමාණ වැවිලිකරුවන්ගේ සංගමය විසිනි.

එහිදී එම ගොවීන් පෙන්වා දුන්නේ කටු පොල් වගාව තහනම් කිරීම නිසා පවුල් විශාල ප්‍රමාණයක් ආර්ථික ගැටලු රැසකට මුහුණ දී සිටින බවයි. අපනයන භෝගයක් ලෙස දියුණු කිරීමට හැකි මෙම කටුපොල් වගාව යළි ස්ථාපිත කර දෙන ලෙස ඔවුහූ රවී කරුණානායක මහතාගෙන් ඉල්ලා සිටියහ.

සිය ඉඩම්වල වගේම රජයේ ඉඩම්වල වගා කිරීමට අවසර ලබා දුන්නොත් තේ සහ රබර්වලට වඩා වැඩි විදේශ විනිමයක් රටට ලබා ගත හැකි අතර අක්කරයක වගාවක් මගින් මසකට රුපියල් 75000ක ශුද්ධ ආදායමක්උපයා ගත හැකි බවද ගොවීහූ පෙන්වා දුන්හ.

ඇතැම් පුද්ගලයින්ගේ දුර්මත නිසා මෙම භෝග වගාව තහනමට ලක් කර ඇති නමුත් මැලේසියාව සහ ඉඳුනීසියාව වැනි රටවල ප්‍රධාන අපනයන බෝගයක් ලෙස මෙම වගාව ව්‍යාප්ත කර තිබෙන බව ද එම ගොවීහූ වැඩි දුරටත් කියා සිටියහ.

මෙහිදී අදහස් දක්වමින් රවී කරුණානායක මහතා සඳහන් කර සිටියේ, මේ සම්බන්ධයෙන් පවතින දුරුමත ඉවත් කර ගෙන කටු පොල් වගාව පිළිබඳව විශේෂඥ දැනුම් ඇති පුද්ගලයින් සමග සාකච්ඡා කර යළි වගා කරවීම සඳහා අවසර ලබා දීමට කටයුතු කරන බවය.

එම ගොවින්ට රවී කරුණානායක මහතා පොරොන්දු වූයේ, මේ පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර 2024 ජනවාරි මාසය වන විට පවතින තහනම ඉවත් කිරීම සඳහා කටයුතු සලසා දෙන බවය.

ඒ අනුව ඉදිරියේදී සියලු දෙනාගේ සහයෝගය ඇතිව රජයේ සහ ජනමාධ්‍යයේ සහයද ලබා ගෙන වාණිජ භෝගයක් ලෙස කටුපොල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා පියවර ගන්නා බව ද රවී කරුණානායක මහතා පැවසීය.

මේ අතර රටේ පවතින දේශපාලන තත්ත්වය සහ කාලීන වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිහිපයකටම පිළිතුරු ලබා දෙමින් රවී කරුණානායක මහතා මෙසේ පැවසීය.

දේශපාලන වේදිකාවේ සිදු කරන වචනවලින් පමණක් රට ගොඩනැගිය නොහැකියි. බංකොලොත් නැතිව තිබුණු රටේ පාලනය ජනතාවගේ ඉල්ලීම පරිදි වෙනස් කළා. එහි ප්‍රතිවිපාකයට අප සියලු දෙනා මුහුණ දුන්නා. ඊට පස්සේ යන මාර්ගය නැති වුණා. ආදායම අවම වුණා. වියදම වැඩි වුණා. රට බංකොලොත් වුණා.

රට බංකොලොත් භාවයෙන් මුදවා ගැනීමට සිදුව තිබෙන්නේ බංකොලොත් කළ කණ්ඩායමට නොවේ. හැම කෙනාටම බැන බැන පරිපාලනයක් ගෙන යන්න බැරි කට්ටිය ඊට උත්තර දෙන්න හදනවා. අභියෝගය භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා විතරයි. එතුමා ප්‍රශ්නයට අවශ්‍ය උත්තර සපයා ගෙන ඉදිරියට ගමන් කරමින් සිටිනවා. ජීවන වියදම ලේසි නෑ. අපි නිකං බොරු කියලා වැඩක් නෑ. පුළුවන් තරම් ආදායම් මාර්ග ඇති කරලා ජන ජීවිත යථාවත් කරන්න තමයි අවශ්‍ය වන්නේ. මේ දේශපාලන පොර පිටියේ හිස් වචනවලින් රටක් හදන්න බෑ.

මම විදුලි බල ඇමති ලෙස සිටී කාලයේ සිට පුනර්ජනනීය බල ශක්තිය වැඩ පිළිවෙළ අදාළව සියලු බදු ඉවත් කළා. කිසිම බද්දක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් තිබෙන ප්‍රශ්නය තමයි විදුලි බල මණ්ඩලය. විදුලි බල මණ්ඩලය මේ ප්‍රශ්නයට හරි උත්තර දෙන්න අපොහොසත් වී සිටිනවා. විදුලු බල මණ්ඩලය ගත්තහම 27,000ක් පමණ සිටිනවා. නමුත් එතනට අවශ්‍ය ප්‍රමාණය වන්නේ දහ පහළොස් දහසක් පමණ කියලා ඔවුන්ම පිළි ගන්නවා. ඒ නිසා අධික නිෂ්පාදන වියදම හේතුවෙන් අනිසි ලෙස විදුලි බිල වැඩි වෙලා තියෙනවා. මේ තත්ත්වය දැන ගෙන ආණ්ඩුව නිසි මාර්ගයකට ගැනීම සඳහා මේ වන විට කටයුතු කර ගෙන යනවා. ඉතින් මං හිතන විදිහට තව මාස දෙක තුනකින් විදුලි බිල අඩු කිරීම සඳහා වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරාවි.

ඇත්ත අමිහිරි වෙන්න පුළුවන්. හැබැයි ඒ අමිහිරි ඇත්තෙන්ම තමයි රටක් හරි මාර්ගයකට ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ අභියෝගය බාර ගෙන වැඩ කරන්න අපි කටයුතු කරනවා. මේ තත්ත්වය වෙනස් කරන්න තනි පුද්ගලයෙකුට පුළුවන්කමක් නැහැ, සියලු දෙනාම එකට අත්වැල් බැඳ ගෙන සියලු පක්ෂවල සහයෝගය ඇතිව වගේම ජනමාධ්‍යයත් මීට දායකත්වය ලබා දිය යුතුයි. හැමදාම බැට කන්නේ වැඩ කරන පුද්ගලයින් එනිසා අලුත් විදියට හිතන්න පුළුවන් පිරිසක් තමයි අපි නිර්මාණය කළ යුත්තේ.

Search